මුශ්ෆිකර් රහීම්ට වැරදි කියන්න බැහැ. දනුශ්ක ගුණතිලක නිසා තමයි එහෙම වුණේ. – තමිම් ඉක්බාල්
2018 වර්ශයේ ශ්‍රී ලංකාව , බංගලාදේශය හා ඉන්දියාව අතර පැවතී තුන්කොන් තරඟාවලිය අතරතුරේදී ශ්‍රී ලංකාව හා බංගලාදේශ කණ්ඩායම් වල ක්‍රීඩකයින් අතර යම් ගැටලුකාරී දේවල් සිදුවූ අතර, එයට ප්‍රධානතම හේතුව වූයේ බංගලාදේශ ක්‍රීඩකයින් විසින් නයි නැටුම නැටීමයි.
මේ අතර පසුගිය දා රසල් ආනල්ඩ්ගේ යූටියුබ් නාළිකාවේ සජීවී සාකච්ඡාවට තමිම් ඉක්බාල් සහභාගි වූ අතර එහිදී රසල් ආනල්ඩ් විසින්, 2018 දී බංගලාදේශ ක්‍රීඩකයින් විසින් රඟදැක්වූ නයි නැටුම සම්බන්ධව ඔහුගෙන් විමසා සිටි අතර තමීම් ඉක්බාල් පිලිතුරු ලබා දුන්නේ මෙලෙසින්.
“ඔව් මං කියන්නම් ඒකෙ ඇත්තම කතාව. ඒකෙදි මුෂ්ෆිකර් රහීම්ට කිසි වැරැද්දක් කියන්න බැහැ. ඒ නයි නැටුම අපේ පන්දු යවන්නෙක් වෙච්ච නස්මුල් ඉස්ලාම්ගේ සැමරීමක්. ඔහු ඒක බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේදිත් කඩුල්ලක් ලබාගත්තම ඒක සැමරුවෙ. ඒ විදිහට ඉතින් ඔහු ඒක ජාත්‍යන්තර පිටියෙදි සිදුකලා.
ශ්‍රී ලංකාව 2018 බංග්ලාදේශ තරඟ සංචාරයක නිරත වුනා. එහිදි විස්සයි විස්ස තරඟාවලිය ජයගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. ඒ තරඟාවලියෙ අන්තිම තරඟය ජයග්‍රහණය කරාට පස්සෙ මං හිතන්නෙ දනුශ්ක ගුණතිලක ඒ සැමරුම සිදුකලා. නස්මුල් ඒක කිසි දෙයක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙවේ ඒක ඔහුගෙ සැමරීමක් විතරයි.
කොහොමහරි දනුශ්ක ගුණතිලක කළ දේ මුෂ්ෆිකර් දැකලා තිබුනා සහ ඒක ඔහුගෙ හිතේ රැඳිලා තිබිලා තියෙනවා. මම ඇත්තටම ඔහු එහෙම දෙයක් කරාද නැද්ද කියලවත් දැක්කෙ නැහැ. එදා අපි ලකුණු 200 ගාණක් චේස් කලාම ඒකෙදි මුෂ්ෆික් ඒ විදිහට සැමරීම කලා සහ ඒකෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට මාර විදිහට කේන්ති ගිහිල්ලා තිබුනා. මට මතකයි අපි නිදහස් කුසලානෙ අවසන් මහා තරඟය සෙල්ලම් කරන්න ක්‍රීඩාංගණයට එද්දි එක ශ්‍රී ලංමා ප්‍රේක්ෂකයෙක්වත් අපි දිහා බැලුවෙවත් නැහැ. ඔවුන් ඒ තරමට අපිත් එක්ක කේන්තියකින් ඉදියෙ.
ඇත්තටම එහෙම සැමරීමක් අපි හෝ ශ්‍රී ලංකා කණ්ඩායම කරන්නෙ පිටිය මැද්දෙ තියෙන පීඩනය අඩු කරගන්න. ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද අපි සෙල්ලම් කරන්නෙ අපේ රට දිනවන්න ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරන්නෙ ශ්‍රී ලංකාව දිනවන්න. එහෙම උනත් කණ්ඩායමක් වශයෙන් සහ ක්‍රීඩකයින් අතර උනත් බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම සුහදශීලිව කටයුතු කරනවා. කොහොම උනත් ඒ වගේ පොඩි පොඩි එදිරිවාදිකම් පිටිය තුලදි තරඟය තුලදි තියෙන එකත් හොඳයි. මොකද ඒකෙන් තරඟයට හොඳ උද්දීපනයක් ලැබෙනවා. – තමීම් ඉක්බාල්
මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ අතිවිශිෂ්ඨ ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් තමීම් ඉක්බාල් ප්‍රකාශ කර සිටියේ, ලසිත් මාලිංගගේ සමුගැනීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.
“ලසිත් මාලිංගගේ සමුගැනීම සම්බන්ධයෙන් හැමෝම දුක්වෙනවා. නමුත් මමනම් එහෙම නෑ. මොකද, ඔහුගේ යෝකර් පන්දු වලට මුහුණදෙන එක සුන්දර, ලේසි පහසු දෙයක් නෙමේ. මාලිංග කියන්නේ ඇත්තටම විශිෂ්ට පන්දු යවන්නෙක්. ලංකාවට හොඳ සන්නාම තානාපතිවරයෙක්. නැවතත් ඔහුගේ පන්දු වලට මුහුණ දෙන්න නොලැබෙන එකට මම ගොඩාක් සතුටු වෙනවා.” – තමීම් ඉක්බාල්
Naveen Krishmal