මෙන්ඩිස්, ගුණතිලක හා භානුක එක් තරඟයකදී පර්ෆෝම් කළහොත් ජැෆ්නා කණ්ඩායමට ඇපත් නැහැ. – දිමුත්
දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වන විට පැවැත්වෙන අතර, මේ වන විට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම , ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම හා දඹුල්ල ග්ලැඩියේටස් කණ්ඩායම ප්ලේ ඕෆ් වටය සඳහා සුදුසුකම් ලබාගෙන සිටිනවා.
මේ අතර, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට හැකි කණ්ඩායම් ගැන පවසා සිටි අතර, තරඟාවලියේ ඇති අඩුපාඩුවක් අවධාරණය කර සිටියා.
මෙවර තරඟාවලියේ තමන් පෞද්ගලිකව කැමති කණ්ඩායම ලෙස කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට නම් කර සිටියා.
“මම කොළඹ නිසා මම පෞද්ගලිකව කැමතියි කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට. නමුත් එයාලගේ තියන ටැලන්ට් එක තවමත් ඔවුන් එළියට දාලා නෑ කියලා මට හිතෙනවා. මොකද, අනිත් කණ්ඩායම් එක්ක බලද්දී කොළඹ කණ්ඩායමේ හොඳ Local ප්ලේයර්ස්ලා ටිකක් ඉන්නවා.”
“ඇන්ජලෝ මැතිව්ස් කකුලේ ආබාධය එක්ක එදා සෙල්ලම් කරේ. ආබාධය එක්ක විස්සයි විස්ස තරඟයක් ක්‍රීඩා කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේ. ඔවුට හිතෙන්නැති ඔහුගේ නායකත්වය සමඟින් මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඇන්ජලෝ මැතිව්ස් එහෙම තීරණයක් ගත්‍ත ඒක කලම්බෝ කණ්ඩායමට ගොඩාක් ලොකු උදව්වක් වුණා.”
මෙවර තරඟාවලියේ මේ වන විට ඉහළින්ම රැඳී සිටින ජැෆ්නා කණ්ඩායම සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න පවසා සිටියේ මෙවන් අදහසක්,
“ජැෆ්නා කණ්ඩායමේ දඟපන්දු යවන්නන් විදියට මහීශ් තීක්ශණ , වනිඳු හසරංග , චතුරංග ද සිල්වා යන සුපිරි දඟපන්දු යවන්නන් ඉන්නවා. ඔවුන්ට තුන්ඉරියව් ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. තිසර පෙරේරා පන්දුවට පහර දෙන ආකාරය දැක්කාම ඔහුව කණ්ඩායම අහිමි වුණ එක ලොකු පාඩුවක් කියලා හිතෙනවා. තිසර වගේ ක්‍රීඩකයෙක් හොයා ගන්න හරි අමාරුයි.”
තරඟාවලියේ සියලුම කණ්ඩායමක් විසින්ම සෑම තරඟයක්ම ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බැවින් නවක ක්‍රීඩකයින්ට අඩු අවස්ථාවක් ලැබෙන බැවින් දිමුත් කරුණාරත්න පවසා සිටියේ ලබන වසරේ තවත් කණ්ඩායමේ කිහිපයක් එකතු කර යුතු බවයි.
“හැම කණ්ඩායමක්ම වගේ බලන්නේ තරඟය ජයග්‍රහණය කරන්න. ඒ නිසා ඔවුන් බලන්නේ හොඳම 11 සමඟින් ක්‍රීඩා කරන්න. එතකොට තරුණ ක්‍රීඩකයෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්. මම හිතුවා ගියපාරට වඩා මේ පාර කණ්ඩායම සංඛ්‍යාව වැඩි වෙයි කියලා. එහෙම උනානම් නවක ක්‍රීඩකයින්ට අවස්ථාවන් කිහිපයක් ලබාදෙන්න ඉඩ තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ හරි තව වැඩිපුර කණ්ඩායම් දෙකක් එකතු කරලා නවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබාදෙයි කියලා. ”
මේ අතර, මෙවර තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට පෙරළියක් සිදු කර හැකි බව හා ඔවුන්ට ශූරතාවය දිනාගැනීමට ද හැකියාව ඇති බව දිමුත් කරුණාරත්න පවසා සිටියා.
“පෙනෙන විදිහට මේ වන විට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ඉහළින්ම රැදී ඉන්නවා. ඔය වගේ උඩින්ම ඉදලා ඉදලා එකපාරටම කනපිට ගහන අවස්ථාත් තියනවා. ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමෙත් හොඳ ක්‍රීඩකයින් ඉන්නවා. මම හිතනවා ඔවුන් වෙනසක් සිදුකරයි කියලා. ඔවුන්ට තරඟයක් වෙනස් කරන්න පුලුවන් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉන්නවා. දනුශ්ක ගුණතිලක , කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් තුන්දෙනාම එක තැනකදී හොඳින්ම පර්ෆෝම් කරොත් මම හිතනවා ජැෆ්නා කණ්ඩායමට ඇපත් නෑ කියලා.”
මේ වන විට ටෙස්ට් තරඟ පමණක් ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න පවසා සිටියේ තමන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබුණු බවයි.
“අපිට ටෙස්ට් තරඟ ගොඩාක් නැහැ. ඒක ලොකු පාඩුවක්. මම ෆෝම් එකේ ඉන්න කොට තරඟ ක්‍රීඩා කරන්න තිබුණනම් ගොඩක් හොඳයි. නමුත් තියන තත්වය අනුව අපිට කරන්න දෙයක් නැහැ. පුලුවන් තරම් ෆිට්නස් හොඳින් තියාගෙන ඉන්නවා.
“මම වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ ටෙස්ට් තරඟ වලට. මගේ ටාගට් ගොඩක් තියෙන්නේ ටෙස්ට් තරඟවල. ටෙස්ට් තරඟ වලදී සමහර අවස්ථා තියනවා අවසන් දිනයේ එක්දින තරඟයක් වගේ ක්‍රීඩා කරන්න. මම ක්ලබ් එකෙත් එක්දින තරඟ ක්‍රීඩා කළා. ”
“මම හිතුවා මේ පාර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. එහෙම ක්‍රීඩා කරානම් සමහර විට මගේ එක්දින හා ටෙස්ට් තරඟ වලටත් උදව්වක් වෙන්න තිබුණා. නමුත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. බලමු, මම ඊලඟ පාරත් තරඟාවලිය ක්‍රීඩා උත්සහ කරනවා. නමුත් මම ජාතික කණ්ඩායමට විස්සයි විස්ස ක්‍රීඩා කරන්න අදහසක් නැහැ. මොකද, මම දන්නවා මට වඩා ගොඩාක් අය එතන ක්‍රීඩා කරන්න ඉන්නවා කියලා.” – දිමුත් කරුණාරත්න