මේ දවස්වල මම අලුත් පන්දුවක් පුහුණුවීම් කරනවා – දුශ්මන්ත චමීර
අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ යූටියුබ් නාළිකාව ඔස්සේ මේ දිනවල හොඳින් දස්කම් දක්වන දුශ්මන්ත චමීර සජීවී වැඩසටහනකට එක් වුන අතර, එහිදී දුශ්මන්ත චමීර හා වනිඳු හසරංග, අයි.පී.එල් තරඟාවලියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමඟ එක් වීමට ලැබීම ගැන සහ තවත් බොහෝ දේවල් සාකච්ඡාවට ලක් විය.
ලසිත් මාලිංග පවසන පරිදි ඔහු ක්‍රීඩා කරන මුල් කාලයේදී වසීම් අක්‍රම් වැනි සුපිරි පන්දු යවන්නන් දෙස බලා ක්‍රීඩාවට අවශ්‍ය දේවල් ඉගෙන ගත් අතර එලෙසින් දුශ්මන්ත චමීර කැමතිම පන්දු යවන්නන් දෙදෙනෙක් සිටින බව හා ඔවුන්ව අනුගමනය කළ බව වැඩසටහනේ ප්‍රථමයෙන්ම චමීර විසින් පවසා සිටියා.
ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන බ්‍රෙඩ් ලී ක්‍රීඩා කරන කාලයේ මම ගොඩක් පොඩියි. නමුත් මම එයාගේ බෝලින් කැමැත්තෙන්ම නැරඹුවා. එයාගේ වේගයයි, ස්වින්ග් එක නිසා මම ඔහුට ගොඩක් කැමැති වුණා. අනෙක් පන්දු යවන්නා වුණේ ඩේල් ස්ටේන්.. ඉතින් මම මුල ඉදන්ම ඒ ක්‍රීඩකයින් දෙන්නට තියන කැමැත්ත නිසා එම ක්‍රීඩකයින් දෙදෙනාව ෆලෝව් කළා.
2014 දී පලමු වරට ජාත්‍යන්තර වරම් දිනාගැනීමට සමත් වූ දුශ්මන්ත චමීර, අනෙකුත් ක්‍රීඩකයින් මෙන්ම පලමු තරඟය ක්‍රීඩා කිරීමට ක්‍රීඩාංගණයට පැමිණීවිට ඇතිවන පීඩනය ගැන චමීර දැක්වූයේ මෙවන් අදහසක්.
“මම 2013 වර්ශයේදී A Team ක්‍රීඩා කරලා 2014 දෙසැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහි තරඟාවලියේදී ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට හැකි වුණා. එම තරඟාවලියේ එක්දින තරඟ 7ක් තිබුණා. අවසන් තරඟයේදී මට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. මගේ පලවෙනි තරඟය නිසා ඇත්තටම ගොඩාක් ලොකු ප්‍රෙශර් එකක් තිබුණා. පලවෙනි පන්දුව යවනකන්ම හිතේ ලොකු චකිතයකින් තමයි හිටියේ.”
මේ අතර බංගලාදේශ සංචාරය අතරතුරේදී ලසිත් මාලිංග විසින් තමාගේ යූටියුබ් නාළිකාව ඔස්සේ වීඩියෝවක් ඉදිරිපත් කරමින්, ශකිබ් අල් හසන් දවා ගැනීමට හැකි ආකාරය පිළිඹඳව සදහනක් කළ අතර ඉන් පසු තරඟයේදී දුශ්මන්ත චමීර විසින් ඒ ආකාරයෙන්ම පන්දු යවා ශකිබ් අල් හසන්ට දවා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් චමීර විසින් පවසා සිටියේ ඔහු ලසිත් මාලිංගගේ එම වීඩියෝව තරඟයට පෙර නැරඹුව බවයි.
“බංගලාදේශ සංචාරය අතරතුරේදී මාලි අයියා වීඩියෝ එකක කිව්වා ශකිබ් අල් හසන්ට අලුත් බෝලයෙන් ඉන් ස්වින්ග් එකක් දැම්මොත් අවුට් කරන්න හැකියාවක් තියනවා කියලා. මම එදා තරඟයට යන්න කලින් එම වීඩියෝව නැරඹුවා. ඒ වගේම 2017 දී ආසියා කුසලානයේදී මාලි අයියා ඒ විදියට බෝල් කරලා ශකිබ් අල් හසන්ව අවුට් කරා, මට ඒකත් ඒ වෙලාවේ මතක් වුණා. ඒ නිසා එදා තරඟයේදී මටත් ශකිබ්ව ඒ විදියට අවුට් කරන්න අවස්ථාව ලැබුණා.”
ඉදිරි වර්ශ තුනේදීම ලෝක කුසලාන තරඟාවලි පවතින බැවින් දුශ්මන්ත චමීර නව පන්දුවක් පුහුණුවීම් කරන බව පවසා සිටි අතර ඔහුගේ කලින් පැවතී ආබාධ තත්වයය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.
“මම 2014 ඉදන් 2016 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනකන් ලොකු ලොකු ආබාධ නැතුව එක්දිගට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තමයි ලොකුවට ඉන්ජරිස් එන්න පටන් ගත්තේ. 2020 වෙනකන්ම මගේ එක එක ඉන්ජරි එන්න ගත්තා. සමහර තරඟ අතරතුරේදී ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙන්න සිදු වුණා, ඒ නිසා මානසිකව බලපෑම් ඇති වුන නිසා මගේ පර්ෆෝමන්ස් අඩු වුණා. ඒ විදියට ආබාධ වලින් මිදෙන්නේ කොහොමද කියලා ගොඩාක් කල්පනා කරලා අන්තිමට සැත්කම කරන්න තීරණය කළා. ඊට පස්සේ තමයි මට ආයෙමත් ආබාධ නැතුව එක දිගට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ.”
“ඉදිරි වර්ශ තුනක කායයේදී අපිට ලෝක කුසලාන තුනක් පැවැත්වීමට නියමිතව තියනවා. මම දැනට නකල් බෝලය ක්‍රියාත්මක කරන්නෙ නැ. මම මේ දවස්වල එම පන්දුව යැවීමට පුහුණුවීම් කරනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා තරඟාවලියේ දී හෝ ඉන් පසුව තරඟාවලියකදී එම පන්දුව යවන්න හිතාගෙන ඉන්නවා.”
මේ අතර දුශ්මන්ත චමීර අයි.පී.එල් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග දැක්වූයේ මෙවන් අදහසක්.
“දුශ්මන්ත චමීර මීට පෙර රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩා කරා කියලා සමහර අය දන්නෙ නැහැ. තවත් සමහර අයට ඒක මතක නැහැ. නමුත් මේ පාර රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමට තෝරගෙන තියනවා කියලා හැමෝම දන්නවා. අනිවාර්යයෙන්ම එම තරඟාවලියට සහභාගි වෙන්න හැකිවේවා කියලා මම පාර්ථනා කරනවා. මොකද ඒ වගේ තරඟාවලි ක්‍රීඩා කරන කොට අපි තරඟ ජයග්‍රහණය කරන විදිහ දැනගන්නවා. සමහරු හිතන්න පුලුවන් චමීර අයි.පී.එල් ගියොත් ඒගොල්ලො චමීරගේ බෝල් අදුනගනීවි කියලා. නමුත් අපි මතක තියාගන්න ඕනේ වර්ල්ඩ් ක්‍රිකට් එක කියන්නේ ඉන්දියාව විතරක් නෙවේයි. තව ගොඩාක් රටවල් තියනවා. අපි එක කණ්ඩායමක් සමඟ ෆේල් වුනත්, අනිත් කණ්ඩායම් සමඟ හොඳින් ක්‍රීඩා කරනවානම් ප්‍රශ්නයක් නැහැ.”
අවසාන වශයෙන් දුශ්මන්ත චමීරට හා වනිඳු හසරංග යන ක්‍රීඩකයින් දෙදෙනාටම එකම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම ගැන දුශ්මන්ත චමීර සතුටු වන බව පවසා සිටියා.
“වනිදුයි, මමයි දෙන්නම රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමට තේරිලා තියනවා. අපි දෙන්නටම එකම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා. ඇත්‍තටම අයි.පී.එල් තරඟ ක්‍රීඩා කරන එක මගේ බලාපොරොත්තුවෙන් සිටියා. හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. අනිත් එක මේ පාර විස්සයි විස්ස ලෝක කුසලානයත් තියෙන්නේ අබුඩාබි වල. මම දකින විදියට අයි.පී.එල් වගේ තරඟාවලි ක්‍රීඩා කරන කොට අපේ දේවල් අනෙක් ක්‍රීඩකයින් අදුනගන්නවා වගේම අනෙක් පිතිකරුවන් අපිට හොඳින් පන්දුවට පහර දෙන කොට අපි කුමක් කළ යුතුද යන්න ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා.”