රෝහිත රාජපක්ෂව අපි හොයාගෙන ගියේ නැහැ. ඔහු අපිව හොයාගෙන ආවේ – ක්‍රීඩා සමාජයේ සභාපති පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ පසුගිය බදාදා (27) ආරම්භ වූ අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේදී කළුතර නාගරික ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීම ඔහු යළිත් අවධානය දිනාගත් මාතෘකාවක් විය. ඔහු නිල වශයෙන් ‘‘ලෙදර් බෝල’’ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි පළමු අවස්ථාව ලෙස සටහන් වූ එහිදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය කඩුලු 2කින් ජය ගැනීමට කළුතර නාගරික ක්‍රීඩා සමාජය සමත් විය.

 

 

කෙසේ වුවත් 32 හැවිරිදි රෝහිත රාජපක්ෂට මෙම තරගයේදී ලකුණු ලබා ගැනීමට නොහැකි වූ අතර ඔහු මුහුණ දුන් පලවෙනි පන්දුවෙන්ම කඩුල්ල මුවා කරමින් දැවී ගියේ ය. ක්‍රිකට් ක්‍රීඩාවට රග්බි ක්‍රීඩාවට තරම්ම ඇල්මක් දක්වන රෝහිත කළුතර නාගරික පිලට එක්වීමට පෙර බදුරලිය ක්‍රීඩා සමාජයේද කලක් පුහුණුවීම්වල නිරතවූවෙකු බව වාර්තා වේ.

 

 

කළුතර නාගරික ක්‍රීඩා සමාජය යනු මෙරට පැරණිතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයකි. ඉංග්‍රීසීන් මෙරට වතු වගාවට යොමුවූ 1887දී තරම් ඉතා ඈත යුගයකදී ආරම්භ කළ එම ක්‍රීඩා සමාජය 1934 දී ඩේලි නිවුස් කුසලාන දිනා ගත්තේ පසු කාලයේ මෙරට බෞද්ධ පුනරුදයේ පුරෝගාමියකු ලෙස සැලකෙන කළුතර මහබෝධි භාරකාර මණ්ඩලය ආරම්භ කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ නායකත්වයෙනි.

 

වසර 12කට ආසන්න කාලයක් පුරා කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති ධුරය හොබවන කලක් ඩේලිමිරර් පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ හා ඩේලිඑෆ්ටී පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙසත් කටයුතු කළ දීපාල් පෙරේරා රෝහිත රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.

 

 

‘‘ඇත්තම කතාව රෝහිත රාජපක්ෂ අපි හොයාගෙන ගියේ නෑ. ඔහු අපිව සොයාගෙන ආවා. ඔහු කිව්වා අපේ ක්‍රීඩා කණ්ඩයමේ ක්‍රීඩා කරන්න කැමතියි කියලා. එතනදී අපි ඔහුගේ හැකියාව පරීක්ෂා කරන්න පුහුණු තරගයකට යොමු කළා. එතනදී ඔහුගේ ක්‍රිකට් හැකියාව ගැන අපේ පුහුණුකරුවන් යම් සෑහීමකට පත්වෙලා පෙර පුහුණුවීම්වලට බඳවා ගත්තා.”

 

 

“මේ පුහුණු තරගයේදී ඔහු ලකුණු 20ක් රැස් කළා. අපි මෙතනදී ගොඩක් සතුටු වෙන්නේ ඔහුගේ විනයගරුකභාවය ගැනයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙක් කියලා ඔහු පුහුණුවීම්වලට ආවම වෙනස් පුද්ගලයෙකු කියලා වෙන්වෙන්න ඔහු කොයිවෙලාවකවත් උනන්දු වෙන්නෙ නෑ. කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩාංගණයේ එකටම ඉඳගෙන කෑම ගන්නවා. පුහුණුකරුවන්ට ‘‘සර්’’ කියලා ඉතා ගෞරවයෙන් සෙසු ක්‍රීඩකයන් වගේම කතා කරනවා. මම මෙතනදී කියන්න උත්සාහ ගන්නේ ඔහුගේ මේ විනයගරුක බව අපි ඉතාම අගය කරනවා කියලයි.”

 

 

“ඔහු කොතරම් කාලයක් අපේ ක්‍රීඩා සමාජයේ ඉන්නවද කියලා අපිට කියලා නැහැ. බැහැයි මේ අන්තර් සමාජ තරගාවලියේ අපේ ක්‍රීඩා සමාජය සහභාගි වන සියලු තරගවලට ක්‍රීඩා කරන්න රෝහිත බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

 

“ඔහු අපේ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් සොයා බලනවා. එහෙම එක් අවස්ථාවකදී රෝහිත අපේ ක්‍රීඩකයකු ඔහුව රැගෙන ගොස් දහවල් කෑමත් ඔහු සමග අරගෙන ප්‍රශ්නයත් විසඳලා දීලා තිබෙනවා. කොටින්ම අපි මෙතනදී කියන්න හදන්නේ අපිත් එක්ක ක්‍රීඩා සමාජයේ ගත කරන්නේ සාමාන්‍ය ක්‍රීඩකයකු හැටියට මිසක් අගමැතිගේ පුතා හැටියට නොවන බව කියන කාරණයයි.”

 

 

ඊට අමතරව මෙම ක්‍රීඩාංගණය සුපිරි පහසුකම්වලින් සමන්විත නවීකරණය කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියක්ද ඉදිරියේදී ක්‍රියාවට නැංවෙන බව ක්‍රීඩා සමාජ සභාපති දීපාල් පෙරේරා මහතා පවසයි. ඒ සඳහා සහයෝගය දැක්වීමට ද රෝහිත රාජපක්ෂ මහතා ප්‍රතිඥා දී තිබේ.

 

අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියට සහභාගි වන අතරතුර ඔහුට තරග කීපයක් මගහැරෙනු ඇතැයි පැවසෙන්නේ ඒ අතරතුර ඔහු ශ්‍රී ලංකාව සහභාගි වන රග්බි තරගාවලියක් සඳහා ද විදේශගතවීමට සූදානමින් සිටින බැවිනි.

 

 

එක්සත් රාජධානියේ සවුත් ඇම්ෆ්ටන් විශ්වවිද්‍යාලයේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන රෝහිත රාජපක්ෂ මහතා මේ සැරසෙන්නේ ක්‍රිකට් පරිපාලනයට පිවිසීම සඳහා වන මූලික අඩිතාලම සකස් කර ගැනීමට බව සමහරු මත පළ කරති.

 

 

ඊට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීමට නම් ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තරග සහභාගිත්වය සනාථ කිරීම අනිවාර්ය වන බැවිනි. එහෙත් රෝහිත රාජපක්ෂ පවසා ඇත්තේ, ක්‍රිකට් පරිපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් තමන් තුළ නැති බවයි. මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස දැනට කටයුතු කරන්නේද රෝහිත රාජපක්ෂ මහතා වේ.

 

 

(ඉරිදා ලංකාදීප පුවත් පතෙන් උපුටා ගත්තකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *