ලසිත් මාලිංග කාටත් නොකිව්වට විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කරලා සමුගන්න හිතාගෙන හිටියේ.

ලෝකයක් දණගැස්සූ යෝකර් පන්දුවේ රජු ලසිත් මාලිංග, පසුගිය සතියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කළ අතර, ඔහුගේ වේගපන්දු පුහුණුකරු වූ චම්පක රාමනායක, දනුශ්ක අරවින්ද සමඟ යූටියුබ් නාළිකාවේ සාකච්ඡාවට එක්වෙමින් ලසිත් මාලිංග ගැන බොහෝ කරුණු කතා කෙරුණා.

මේ අතර චම්පක රාමනායක පවසන පරිදි, ලසිත් මාලිංග මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත්, ඔහුව ශ්‍රී ලංකා සංචිතයට එකතුකර නොගැනීම හේතුවෙන් ඔහු කනස්සල්ලෙන් ජාත්‍යන්තර පිටියට සමුදුන් බව පවසා සිටියා.

“ලසිත් මාලිංග අවසන් කාලයේ ඔහුගේ නිහඬියාවත් එක්ක මට තේරුණා ඔහු ජාත්‍යන්තර පිටියට සමුගන්න ඉන්නවා කියන එක. මම දන්නවා ඔහු මේ පාර ලෝක කුසලානයත් සෙල්ලම් කරලා ජාත්‍යන්තර පිටියෙන් සමුගන්න හිටියේ. නමුත් අවුරුද්දක් දෙකක් වගේ කාලයක ඉදන් තරඟවලට හෝ පුහුණුවීම් වලට හෝ කිසිම දේකට ඔහුට කතා කළේ නැහැ. ඉතින් මම හිතනවා ඔහු දැන් ජාත්‍යන්තර පිටියට සමුදුන්න එක නිවැරැදි තීරණයක්. මොකද ඔහුගේ වයස එක්ක බලන කොට තවදුරටත් ඉන්න එකේ තේරුමක් නැහැ. ඉතින් මම ඔහුගේ එම තීරණයට ගරු කරනවා.

“නමුත් ප්‍රේක්ෂකයින් හැමෝම ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයට එනකන් බලාගෙන හිටියා. ඔහුට තාමත් හොඳට පන්දු යවන්න පුලුවන්. ඕවර් 4ක් පන්දු යවන එක මහලොකු ප්‍රශ්නයක් නෙමේ. නමුත් ගොඩ කාලෙක ඉදන් ඔහු පුහුණුවීම් කරලා නැහැ. එහෙම පුහුණුවීම් නොකර මේ වගේ ලොකු තරඟාවලියකට සහභාගි වීමට ප්‍රශ්නයක් තියනවා. ඔහු අනිත් අය එක්ක නොකිව්වට ලෝක කුසලානය සෙල්ලම් කරන්න බලාපොරොත්තුවක් තිබුණා.”

ඔහුට මේ විදියට සමුගන්න වුණ එක ගැන අපිට කණගාටුවකුත් තියනවා. නමුත් අපේ රටේ ගොඩක් ක්‍රීඩකයින්ට මේ දේ වෙලා තියනවා. නමුත් මීට වඩා හොඳ සමුගැනීමක් තිබ්බනම් හොඳයි කියන මතයේ මම ඉන්නවා.

මේ අතර, ලසිත් මාලිංග විසින් මෙවර ලෝක කුසලානය ක්‍රීඩා කරනවා ද? නැද්ද? යන්න චම්පක රාමනායක සමඟ පවසා සිටියේ ද යන්න මාධ්‍යවේදියා අසන ලද ප්‍රශ්නයට චම්පක රාමනායක පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්.

“මම කිහිපවතාවක්ම ඔහුගෙන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැද්ද කියලා ඇහුවාම ඔහු කිව්වා ඔහුට පුහුණුවීම් කරන්න තැනකුත් නැහැ, කිසිම කෙනෙක් ඔහුට කතා කළේ නැහැ කියලා. නමුත් ඔහු බලාගෙන ඉන්නවා කියලා කිව්වා. ඔහු කනස්සල්ලෙන් හිටියේ.”

“ලසිත් මාලිංග කියන්නෙ අතිවිශිෂ්ඨ ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක්ට කතා කරලා කියන්න ඕනේ නැවතත් ඔහුව කණ්ඩායමට ගන්නේ නැත්නම්, ඔහුව සළකා බලන්නෙ නැහැ කියලා ඔහුට කියන්න ඕනේ. අපේ රටේ ඒක කරන්නෙ නැහැ. ඒක ක්‍රීඩකයින්ට කරන ලොකු අසාධාරණයක්.”

“ලසිත් මාලිංග කරලා තියන දේවල් එක්ක බලද්දී මේ ලෝකේ කිසිම ක්‍රීඩකයෙක්ට සමාන කරන්න බැහැ. හැට්‍රික් 5ක්, ඩබල් හැට්‍රික් 2ක්, ඔහු ලෝකෙම දණගැස්සුවා. ටෙස්ට් තරඟ ක්‍රීඩා කළෙත් තරඟ 30ක් පමණයි. ඒකෙත් කඩුලු 101ක් දවාගෙන තියනවා. ඔහු ටෙස්ට් ක්‍රීඩාවෙන් ඉවත් වුණේ දණහිසේ ඇති වුණ ආබාධ තත්වය නිසා. ඔහුව තව ගොඩාක් කාළයක් ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍ය වුණා. නමුත් ඒ කාලේ ඒකටත් කට්ටිය මාලිංගට එක එක කතා කිව්වා. නමුත් ඔය කතා කියන කවුරුවත් දන්නේ නැහැ ඔය දේවල්. ඔහු ගිය අවුරුද්දේ වෙනකන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළේ ටෙස්ට් ක්‍රීඩාවෙන් ඉවත් වුණ නිසා.”  – චම්පක රාමනායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *