ලහිරු කුමාරට හා ලිට්න් ඩාස් හට දඬයක් පණවයි.

බංගලාදේශයට එරෙහිව පැවතී තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු චමින්ද වාස් හා රොශාන් අබේසිංහ, රසල් ආනල්ඩ් සමඟින් යූටියුබ් නාලිකාව හරහා සජීවීව පැමිණෙමින් තරඟය පිලිඹඳව අදහස් දක්වා සිටියා.

 

 

අපේ පන්දු යවන්නන් දක්ශයි. මම කරේ එයාලව ටිකක් ඔපමට්ටම් කරපු එක. එයාලගෙත් කැපවීම තියනවා. ඔතනින් එළියට ගියොත් ආයේ ගියාම තමයි. මොකද අපිට අලුත් ක්‍රීඩකයින් ගොඩක් ඉන්නවා. නමුත් බංගලාදේශ තරඟයේදී අපි කතා කරපු දේවල් වලින් බැහැරව තමයි පන්දු යව්වේ. අපි කතා කරපු දේවල් එයාලට මැදට ගියාම කරගන්න බැරි වුණා. නමුත් මම ගොඩක් සතුටුයි අපේ පන්දු යවන්නන් අන්තිම ඕවර් 3,4 හොඳින් පන්දු යැව්වා. නැත්නම් ඔවුන් අපිට ලකුණු 180ක් 190ක් පමණ ලකුණු ගහන්න තිබුණා. – චමින්ද වාස්

 

 

මහීශ් තීක්ශණගේ අබාධය හේතුවෙන් බංගලාදේශයට එරෙහි තරඟයේ බිනුර ප්‍රනාන්දු එකතු කරගැනීමට හේතුව චමින්ද වාස් ප්‍රකාශ කලේ මෙවන් අදහසක්,

 

 

“සාජා වල අන්තිම තරඟ දිහා බලන කොට වේගපන්දු යවන්නන් හොඳින් පන්දු යවලා තිබුණා. ඒ නිසා තමයි වේගපන්දු යවන්නන් 4 දෙනෙක් සමඟින් ක්‍රීඩා කළේ. අපේ කණ්ඩායමේ ඉන්න හොඳම පන්දු යවන්නන් දෙන්නා තමයි දුශ්මන්ත චමීර හා වනිඳු හසරංග. නමුත් ඊයේ (24) ඔවුන්ගේ දවස නෙමේ. අපේ කලින් තරඟ වල පන්දු යවන්නන් හොඳටම පන්දු යව්වා. නමුත් බංගලාදේශයට එරෙහිව අපේ පන්දු යවන්නන් අසාර්ථක වූ නමුත්, අපේ පිතිකරුවන් හොඳින්ම පන්දුවට පහර දීලා තරඟය දිනවලා දුන්නා.” – චමින්ද වාස්

 

 

ඊයේ තරඟයේදී පලමු පන්දුවාරයේදීම කුසල් පෙරේරා දැවී යාමෙන් අනතුරුව චරිත් අසලංක ක්‍රීඩා කළ ආකාරය පිළිඹඳ රසල් ආනල්ඩ් ප්‍රකාශ කල අදහස,

 

 

“චරිත් අසලංක කියන්නේ 19න් පහළ කණ්ඩායමේ නායකත්වයේ හිටපු ක්‍රීඩකයෙක්. ඔහුට ලේසියෙන් ගේම් එක තේරුම් ගන්න පුලුවන්. හැබැයි මේ තරඟයේ ඔහු අපිට පෙන්නුවා ඔහුට බෝලෙට වේගයෙන් ගහන්න පුලුවන් කියලා. දැන් චරිත් අසලංක කරන්න ඕනේ මේ දේවල් පවත්වාගෙන යන එක. අපි දැකලා තියනවා අපේ කණ්ඩායමට ගොඩක් Talent ක්‍රිකටර්ස්ලා එනවා නමුත් ඔවුන්ට ඒක පවත්වාගෙන යන්න බැරි වෙලා තියනවා.”

 

 

“චරිත් අසලංක කියන්නේ ලකුණු පෙරේතයෙක්. අපි දැකලා තියනවා ගොඩක් අය එක 50ක් 100ක් ගහපු ගමන් “මම දැන් ගහලා තියෙන්නේ. මම දැන් ලෝකේ කාලා තියෙන්නෙ, මම තමයි වීරයා” කියලා ඔලුව ලොකු කරගන්නවා. නමුත් චරිත් අසලංක එහෙම නැහැ. අනිවාර්යයෙන්ම මම හිතනවා චරිත් අසලංක පුහුණුකරුවන් එක්ක කතා කරලා හැමවෙලාවෙම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා.” – රසල් ආනල්ඩ්

 

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිණත ක්‍රීඩකයෙක් වන කුසල් ජනිත් පෙරේරා හට සාර්ථක වීමට නොහැකි වූ අතර, චමින්ද වාස් ඔහු ගැන ප්‍රකාශ කළේ කුසල් පෙරේරා යනු තරඟ දිනවන්නෙක් බවත්, ඔහු ඉදිරියේදී සාර්ථක විය හැකි බවයි.

 

 

“කුසල් පෙරේරා කියන්නේ වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක්. එහෙම කෙනෙක් මැච් එකක් දෙකක් ෆේල් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට ඊලඟට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය වගේ රටවල් තියනවා. අපි ඕස්ට්‍රේලියාවටත් හොඳ තරඟයක් දීලා ජයග්‍රහණය කරන්න පුලුවන් වුනොත් අපිට අර්ධ අවසන් පූර්ව තරඟ වලට යන්න හොඳ අවස්ථාවක් තියනවා. කුසල් පෙරේරා ඉදලා ලොකු ඉනිමක් ගැහුවොත් අපිට තරඟයක් දිනන්න පුලුවන්. ඔහු තරඟ දිනවන්නෙක්. මම හිතනවා කුසල් පෙරේරා ඉදිරි තරඟවලදී ලකුණු අතරට පැමිණෙයි කියලා.” – චමින්ද වාස්

 

 

මේ අතර, ලහිරු කුමාර තරඟය අතරතුරේදී ලිට්න් ඩාස් සමඟ ආරවුලක් ඇති කරගත් අතර, ඒ හේතුවෙන් ලහිරු කුමාර හට තරඟ ගාස්තුවෙන් 25%ක දඬයක් ද, ලිට්න් ඩාස් හට 15%ක දඬයක් පැණවීමට අයි.සී.සී ය මඟින් තීරණය කර තිබෙනවා.

 

 

“අපි හොඳින් තරඟය ක්‍රියාත්මක වෙද්දී ඔහු අනවශ්‍ය දෙයක් කරා. අපි ඔහුට කතා කරලා අවවාද කළා. ලිට්න් ඩාස් එක්ක කතා කරලා ඒක සමාදාන කරගත්තා. ගොඩක් අය කියනවා ඒක වැරදි දෙයක් කියලා. වේගපන්දු යවන්නෙක් උනාම ඒ කලබලකාරී බව තියෙන්න ඕනේ. එහෙමයි කියලා තරඟයේදී පිතිකරුවන් සමඟ ආරවුල කරගන්න එක හොඳ නැහැ. හැබැයි අපේ වේගපන්දු යවන්නන්ට ඒ කොලිටිය තියනවා කියන්නේ ඒක හොඳ දෙයක්.” – චමින්ද වාස්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *