වනිදු හසරංග කියන්නේ අංක දෙකේ නොවේ, අංක එකේ පන්දු යවන්නා විය යුතුයි – දසුන් ශානක
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තුන්වන විස්සයි විස්ස තරඟයෙන් ලබාගත් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් ඉතිහාසයේ පළමු වතාවට ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරඟාවලි ජයක් ලබා ගැනීමට සමත් වුණා.

මෙම තරඟාවලි දෙකත් සමඟින් තම නායකත්වය යටතේ පිට පිට විස්සයි විස්ස තරඟාවලි දෙකක් ජයග්‍රහණය කිරීමට දසුන් ශානක සමත් වූ අතර එම අවස්ථාවන් දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලද්දේ ඡේෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් තොරව වීම විශේෂත්වයකි. තරඟාවලි ජයගැනීමෙන් අනතුරුව දසුන් ශානක දැක්වූයේ මෙවන් අදහසක්.
“මට ගොඩාක් හොඳ තරුණ කණ්ඩායමක් ලැබිලා තියනවා. ඔවුන් ඕනෑම මොහොතක චැලේන්ජ් බාර ගන්න ලෑස්තියි. ඒ නිසා මට ග්‍රවුන්ඩ් එකට ගියාම ලොකු විශ්වාසයක් ඇති වුණා. මට තරඟය අතරතුරේදී බෝලස්ලා එක්ක කතා කරලා ගැලපෙන විදිහට පන්දු යවන්වන්ව හසුරවන්න හැකි වුණා. මට හිතෙනවා කැප්ටන් කෙනෙක් විදිහට මේ සීරිස් එකේදී මගේ වගකීම ඉෂ්‍ඨ කළා කියලා.”

ඡේෂ්ඨ ක්‍රීඩකයින් නොමැතිව තරුණ ක්‍රීඩකයින්ගෙන් පමණක් ක්‍රීඩා කරමින් තරඟාවලි දෙකක් ජයග්‍රහණය සඳහා කණ්ඩායම මෙහෙය වූ ආකාරය පිළිඹදව දසුන් ශානක පවසා සිටියේ එක්කෙනෙක්, දෙන්නෙක්ගෙන් පමණක් යැපෙන්නැතිව සෑම ක්‍රීඩකයෙක්වම අවස්ථාවන්ට ගැලපෙන ආකාරයට යොදාගත් බවයි.
“තරඟය ක්‍රීඩා කරන 11 දෙනා සමඟ පමණක් නොවේ එළියේ ඉන්න ක්‍රීඩකයින් එක්කත් පොසිටිව් දෙවල් කතා කළා. එක්කෙනෙක් දෙක්කෙක්ගෙන් පමණක් යැපෙන්නැතුව හැම ක්‍රීඩකයෙක්වම ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන විදිහට මම යොදා ගත්තා. මගේ නායකත්වය යටතේ තරඟාවලි දෙකක් ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ඒ වුණාට ඉදිරියේදී ගොඩක් ලොකු චැලෙන්ජස් තියනවා. අපි හැමවෙලාවෙම හොඳ දේවල් කරන්න උත්සහ කලොත් අපේ ක්‍රීකට් අනාගතයේදී හොඳ තත්වයකට පැමිණේවි.”

තුන්වන විස්සයි විස්ස තරඟයේ වීරයා හා, තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ලෝකයේ අංක දෙකේ විස්සයි විස්ස පන්දු යවන්නා පිළිඹඳව නායක දසුන් ශානකගේ අදහස වූයේ ඔහු ඉතාමත් ඉක්මනින් අංක එකේ පන්දු යවන්නා බවට පත්වෙනු ඇති බවයි.
“වනිඳු හසරංග කියන්නේ නොම්බර 2 නෙමේ නොම්බර් එකේ ඉන්න ඕන ක්‍රීඩකයෙක්. මම හිතනවා ඉක්මනටම වනිඳු හසරංග ලෝකයේ අංක එකේ පන්දු යවන්නා බවට පත් වෙයි කියලා.”

තරඟයෙන් අනතරුව ඉන්දීය කණ්ඩායමේ නායක ශිකර් ධවාන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා සෙසු ක්‍රීඩකයින් වට කරගනිමින් ඔහුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී දවාන් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට පැවසූ දේ ගැන දසුන් ශානක ප්‍රකාශ කර සිටියා.

“ශිකර් දවාන් කියන්නේ අවුරුදු 10කට වඩා ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරලා අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. එයා ක්‍රීඩා කරන විදිහ, තරඟ සැලසුම් කරන විදිහ, අවස්ථාවන්ට ගැලපෙන විදිහට නිවැරැදි තීරණ ගන්න විදිහ අපිත් එක්ක කතා කළා. ඒ දේවල් නායකයෙක් විදිහට මට වගේම කණ්ඩායමේ ඉන්න අනිත් තරුණ ක්‍රීඩකයින්ටත් ඉතාමත් වැදගත්. අපි අපේ රටේ හිටපු ක්‍රීඩකයින්ගෙන් වගේම අනිත් රටවල ක්‍රීඩකයින්ගෙනුත් අදහස් ලබාගන්න එක ගොඩාක් වැදගත් දෙයක්. ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක්ගෙන් අදහස් ලබා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් මම ඔහුට ප්‍රසංසා කරනවා.”
