වනිඳු සම්බන්ධයෙන් අජේ ජඩේඩා කළ ප්‍රකාශයට වනිඳු හසරංග පන්දුවෙන් පිළිතුරු දෙයි.
2022 අයි.පී.එල් තරඟාවලියේ 54 වන තරඟය ලෙස ඊයේ (8) පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරඟයෙන් වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලකුණු 67ක ජයක් ලබාගැනීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.
මීට පෙර වනිඳු හසරංග පලමු තරඟ 10 තුලදී කඩුලු 15ක් ලබාගෙන තිබූ අතර, ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන Ajay Jadeja විසින් වනිඳු හසරංග සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබුණා.
එම ප්‍රකාශය පහළින්,
“වනිඳු හසරංග තරඟ 10ක්ම ක්‍රීඩා කර තවමත් විශ්මයට පත්වෙන ලෙස පන්දු යවලා නැහැ. ඔහු සමහර තරඟ වලදී ඕවර් 2ක් හෝ 3ක් පමණයි පන්දු යවා තිබෙන්නේ. වනිඳු හසරංගව බොහෝ උවමනාවෙන් යුක්තව වැඩි මුදලකට මිලදී ගත්තත් තවමත් ඔහුගෙන් අපේක්ෂා කළ පරිදි දෙයක් ලැබිලා නැති බව මම හිතනව. රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තවත් ඉන්දීය දඟපන්දු යවන්නන් සිටිනවා. අවශ්‍යනම් ඔවුන්ට වනිඳු වෙනුවට වෙනත් හොඳ දඟ පන්දු යවන්නෙක්ව ක්‍රීඩා කරවීමට හැකියි.”
“වනිඳු හසරංග පන්දුවට පහරදීමට ද හැකි වුවත්, ඔහු පන්දුවට පහරදීමට පැමිණෙන විට තරඟය අවසන් වී ඇත. පන්දුවට පහරදුන් අවස්ථා කිසිපයේදීත් එතරම් හොඳින් පහර දී නොමැත. වනිඳු හසරංග වෙනුවට හර්ෂාල් පටෙල්, මොහොමඩ් සිරාජ් හා ජොෂ් හේසල්වුඩ්ට සහය විය හැකි පන්දු යවන්නෙකු පත් කිරීමට හැක.” – Ajay Jadeja
ඔහු මෙලෙසින් වනිඳු හසරංග සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර දන හතරකට පසු, ඊයේ (8) පැවතී තරඟයේ දී ලකුණු 18කට කඩුලු 5ක් බිඳ දමමින් තරඟාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වුණා.
මෙම තරඟයේදී වනිඳු හසරංග විසින් දවාගනු ලැබූයේ ඒඩන් මාක්‍රම්, නිකලස් පූරන් , ජගදීෂ සුචින්, ශෂාන්ක් සිං හා උම්රාන් මලික්ව වේ.
මෙම තරඟයේදී වනිඳු හසරංග විසින් කඩුලු 5ක් බිඳ දැමීමෙන් අනතුරුව,
* 2022 අයි.පී.එල් තරඟාවලියේ මෙතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීම (18/5) – වනිඳු හසරංග
* මේ වන විට තරඟාවලියේ දෙවන කඩුලු ලාභියා – (කඩුලු 21). තරඟාවලියේ කඩුලු 22ක් දවාගනිමින් යුස්වේන්ද්‍ර චහාල් වැඩිම කඩුලු ලාභීන් අතර ඉහළින්ම සිටින අතර, කගිසෝ රබාඩා කඩුලු 18ක් ලබාගනිමින් තුන්වන ස්ථානයේත්, කුල්දීප් යාදෙව් කඩුලු 18ක් ලබාගනිමින් හතරවන ස්ථානයේත් හා තංගරසු නටරාජන් කඩුලු 17ක් ලබාගනිමින් 5 වන ස්ථානයේත් රැඳීස් සිටිනවා.
* ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ එක් වසරකදී දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කරගැනීමට වනිඳු හසරංග සමත්වුණා. (කඩුලු 21*),
මීට පෙර එක් තරඟාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන තිබූ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නා වනුයේ මුත්තයියා මුරලිදරන් වේ. (කඩුලු 15)
* මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ ලසිත් මාලිංගට පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ එක් තරඟයකදී කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වූ එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට ද පත්වීමට වනිඳු හසරංග සමත්විය.
* රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් එක් වසරකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් විදේශීය ක්‍රීඩකයා – වනිඳු හසරංග (කඩුලු 21*)
මීට පෙර, මිචෙල් ස්ටාර්ක්ස් – කඩුලු 20 (2015)
ෂේන් වොට්සන් – කඩුලු 20 (2016)
ඩේවිඩ් වීස් – කඩුලු 16 (2015)
මුත්තයියා මුරලිදරන් – කඩුලු 15 (2012)
ඩේල් ස්ටේන් – කඩුලු 15 (2010)