වනිඳු හසරංගත්, ලසිත් මාලිංග වගේමයි – මහේල ජයවර්ධන පවසයි.
2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් මස 16 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, එහිදී පලමු තරඟය වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නැම්බියා කණ්ඩායම සමඟින් තරඟ වැඳීමට නියමිතයි.
මෙවරද, ශ්‍රී ලංකා සංචිතය සමඟින් හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන මහේල ජයවර්ධන මහතා ද එක්ව සිටින අතර, එහිදී The Icc Review වැඩසටහන සමඟින් එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
ගියවර ලෝක කුසලානයේදී වැඩිම කඩුලු ලාභියා වූ අතර, නිමාවූ ආසියානු කුසලාන තරඟාවලියේදී ද කණ්ඩායම වෙනුවෙන් විශාල කාර්යයක් ඉටු කිරීමට සමත්වූ වනිඳු හසරංග, ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග හා සමාන වන බව මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියා.
වනිඳු හසරංග 2021 වසරේ මෙන්ම 2022 වසරේදී ද ඉතා ඉහළ දස්කම් පෙන්වමින් සිටින අතර, විශේෂයෙන්ම ඔහු පිත්තෙන්ද දක්ශතා දක්වන බැවින් මේ වන විට විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ වර්ගීකරණයේ අංක 4 දක්වා ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.
ශ්‍රී ලංකා හිටපු සුපිරි නායකයෙක් වන මහේල ජයවර්ධන පවසන්නේ මේ සියලු දක්ෂතා සමඟින් වනිඳු හසරංග හට නායකත්ව ගුණාංග ද ඇති බවයි.
“පසුගිය මාස 12ක පමණ කාළයේදී තමන් පන්දු යවන්නෙක් විදිහට විතරක් නොවේ, පිතිකරුවෙක් විදිහට ද පරිණත බව වනිඳු හසරංග ක්‍රියාවෙන් ඔප්පු කරලා තියනවා. අසීරු අවස්ථාවලදී ඔහු ඇවිත්, ඔහුගේ උපරිමය කණ්ඩායමට ලබාදෙනවා”
“ඔහුට කණ්ඩායමේ නායක හෝ උපනායක තනතුරක් නොමැතිව වුවද, කණ්ඩායමේ සිටින අනෙක් නවක ක්‍රීඩකයින් හට නායකයෙකු මෙන් ගුරුහුරුකම් ලබාදීමට ද ඔහු ඇප කැප වී සිටිනවා.”
වනිඳු හසරංගගේ සහෝදරයා වන චතුරංග ද සිල්වා, මහේල ජයවර්ධන සමඟින් සමකාලයේ ක්‍රීඩා කළ අතර, ඒ කාලයේදී වනිඳු හසරංග වයස 19න් පහළ ක්‍රීඩා කරමින් සිටි බව ද මහේල ප්‍රකාශ කර සිටියා.
“ඇත්තම කියනවා නම් වනිඳු අපිට වඩා ගොඩක් ලාබාලයි. නමුත් ඔහුගේ සහෝදරයා වන චතුරංග ද සිල්වා අපිත් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ දීත් වනිඳු ක්‍රිකට් ක්‍රීඩා කළා. අපි ක්‍රීඩා කරන කාලයේ දී වනිඳු 19න් පහළ ක්‍රීඩා කරමිනුයි සිටියේ, පසුව අපි ක්‍රීඩාවෙන් සමුගනිද්දියි ඔහු පළමු පෙළ තරග ක්‍රීඩා කරන්න පැමිණෙන්නේ.”
ඒ කාලයේ සිටම වනිඳු හසරංග පන්දු යැවීම මෙන්ම පිතිකරණයේ යෙදීමට ද පුළුවන් බව දැනගත් නමුත්, ඔහු මේ තරම් දක්ශයෙකු බව නොසිතූ බව ද මහේල ජයවර්ධන අදහස් කර සිටියා.
“අපි දැන ගෙන හිටියා මෙයාට පන්දු යවන්න වගේම පිතිකරණයේ යෙදෙන්නත් පුළුවන් බව, නමුත් ඔහු මේ තරම් දක්ෂ පන්දු යවන්නෙක් බවට පත් වෙන්න පුළුවන් බව අපි කිසිසේත්ම දැන ගෙන හිටියේ නැහැ. මම කියන්නේ මුල් කාලයේ දී ඔහු මේ තරම් තියුණු ක්‍රීඩකයෙක් බව පෙනුණේ නැහැ, නමුත් හැම වෙලාවකට ඔහුට තරගයක් වෙනස් කළ හැකි සාධකය වීමට හැකියාව තිබුණු බව නම් පෙනුණා.”
“වනිදු හසරංගත්, ලසිත් මාලිංග වගේම දකුණු පළාතේ ගාල්ලෙන් බිහි වී මාලිංගට සමාන හැසිරීම් රටාවක් ද පෙන්වන අයෙක්. ක්‍රීඩාගාරයේ මුල්ලකට වී හිඳිමින් නිහඬව ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඔවුන් ටිකෙන් ටික වර්ධනය වුනා. කොණ්ඩ මෝස්තර වෙනස් වෙමින්, ටැටූස් එකින් එක වැඩි වෙමින් ඔවුන් දෙදෙනාම කෙමෙන් ඉදිරියට ආ ගමන එක හා සමානයි.”
වනිඳු හසරංග පැමිණී මේ ගමන් මග ලසිත් දියුණු වූ ආකාරයට ඉතාමත් සමානයි. හිටපු ක්‍රීඩකයෙකු ලෙස වනිඳුගේ මේ දියුණුව මා දකින්නේ ඒ විදිහටයි.”
“ලසිත් මාලිංග මෙන්ම වනිඳු හසරංගගේත්, ක්‍රීඩා පිටිය තුලට ගියායින් පසුව, තරඟකාරීත්වය ඉහළින්ම පවතින අතර, තමන් ආසම ඔහුගේ ගතිගුණය එය බව ද මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.
තවමත් වයස අවුරුදු 25ක් පමණක් වන වනිඳු හසරංග, ඉදිරියේදීත් තමන්ගේ කාර්යයභාරය තේරුම් ගෙන, රට වෙනුවෙන් ,කණ්ඩායම වෙනුවෙන් උපරිමය සිදුකිරීමට අවශ්‍ය බව අවසාන වශයෙන් මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියා.