වාර්තා අලුත් කරමින් තුන්වන තරඟය ශ්‍රී ලංකාව විශිෂ්ඨ ලෙස ජයගනී.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ තුන්වන තරඟයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදා කඩුලු 6කක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබාගැනීමට සමත්වුණා.
ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Travis Head විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 65කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3 සමඟින් නොදැවී ලකුණු 70ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව නායක ඒරන් ෆින්ච් පන්දු 85කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 62ක් හා Alex Carey පන්දු 52කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබාගත් අතර ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ජෙෆ්රි වැන්ඩසේ පන්දුවාර 10 අවසානයේදී ලකුණු 49කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව දුශ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ හා දනංජය ද සිල්වා ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.

ඉන්අනතුරුව ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.3ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 292ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද දින එක්දින පිටියේ මංගල ශතකය වාර්තා කරගත් අතර ඔහු පන්දු 147කදී හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 137 ලබාගැනීමට සමත්වුණා.
පැතුම් නිස්සංක විසින් අද දින සනත් ජයසූරියගේ වාර්තාවක් බිඳ දැමීමට ද සමත්වුණා. පැතුම් නිස්සංක ඉතිහාස ගත වූයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තා කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර 2003 දී සනත් ජයසූරිය ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 122ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා ලෙස රැඳීසිටියා.

ඊට අමතරව පැතුම් නිස්සංක සමඟින් එක්ව විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ අතර ඒ වන විට ඔහු පන්දු 85කදී හතරේ පහර 8 ක් සමඟින් ලකුණු 87ක් රැස්කරගෙන සිටියා.

කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක අද දින දෙවන කඩුල්ල සඳහා ලකුණු 170ක නොබිඳුනු සබඳතාවක් ගොඩ නැඟීමට සමත්වූ අතර, එය ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟයකදී දෙවන කඩුල්ලට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ගොඩනැගූ හොඳම සබඳතාවයයි.
මීට පෙර 2006 වර්ෂයේදී සිඩ්නිහිදී සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 163ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වී ඇත.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියා ක්‍රීඩක J Richardson පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 39කට කඩුලු 2ක් බිඳ දැමූ අතර ග්ලේන් මැක්ස්වෙල් හා ජෝෂ් හේසල්වුඩ් එක් කඩුල්ල බැඟින් ද ලබාගැනීමට සමත්වුණා.
ඒ අනුව තරඟ 5කි යුත් එක්දින තරඟාවලියේ තුන්වන තරඟයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ විශිෂ්ඨ ශතකයක් වාර්තා කරගත් පැතුම් නිස්සංක වේ.

දනංජය ද සිල්වා රැකගත් සුපිරි උඩපන්දුව වීඩියෝව,
— cric fun (@cric12222) June 19, 2022