වාර්ථාවන් රැසක් අලුත් කරමින් ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟයේ පලමු දිනය නිමා වෙයි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර, තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු ප්‍රමාණයක් ලබාගනිමින් හොඳ ආරම්භයක් ලබාගැනීමට සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පලමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබාගැනීමට සමත් වුණා.
නායක දිමුත් කරුණාරත්න සමඟින් ශ්‍රී ලංකා පලමු ඉනිම ආරම්හ කළ පැතුම් නිස්සංක පලමු කඩුල්ල සඳහා ලකුණු 139ක සබඳතාවක් පැවැත්වීමට හැකිවුණා. එම ලකුණු ප්‍රමාණය ඉතිහාසගත වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ආරම්භක කඩුල්ල සඳහා ලබාගත් හොඳම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මේ අතර, 2018 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව ටෙස්ට් පිටියේ 7 වතාවක් පලමු කඩුල්ල සඳහා ශතක සබඳතාවයන් පැවැත්වීමට හැකිවී ඇති අතර, 2018න් පසු පලමු කඩුල්ල සඳහා වැඩිම ශතක සබඳතාවයන් පැවැත්වීමට හැකිවී ඇත්තේ ද ශ්‍රී ලංකාව වේ.
එහි දෙවැනි ස්ථානයේ එංගලන්තය හා නවසීලන්තය පසුවන අතර ඔවුන් 2018න් පසු අවස්ථා 4කදී ආරම්භක කඩුල්ල සඳහා ශතක සබඳතාවයන් පවත්වා ඇත.
අද දින පැතුම් නිස්සංක ටෙස්ට් දිවියේ දෙවන අර්ධ ශතකය රැස්කර ගැනීමට හැකි වූ අතර ඔහු ලබාගත් ලකුණු ප්‍රමාණය 56 (140) ක්. ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් දිවියේ 13 වන ශතකය රැස්කිරීමට සමත් වුණා.
මෙම ශතකය, ඔහු මෙම වසරේදී (2021) ලබාගත් 4වන ටෙස්ට් ශතකය වන අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වාර්ථා කළ දෙවන ටෙස්ට් ශතකය වේ. පලමු දිනය නිමාවන විට ඔහු නොදැවී ලකුණු 132ක් ලබාගෙන සිටියා.
තවද, කැලැන්ඩර් වසරක් තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකයෙකු ලෙස වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගෙන ඇති ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට දිමුත් කරුණාරත්නට හැකිවූ අතර, එහි පලමු ස්ථානයේ මහේල ජයවර්ධන ශතක 5ක් (2007 වර්ෂයේ) ලබාගනිමින් සිටිනවා.
• මහේල ජයවර්ධන – ශතක 5යි (ඉනිම් 11) – 2007
• දිමුත් කරුණාරත්න* – ශතක 4යි (ඉනිම් 10) – 2021
• මාවන් අතපත්තු – ශතක 3යි (14) – 2004
• මහේල ජයවර්ධන – ශතක 3යි (20) – 2006
මේ අතර අද දින, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු රැස්කරගෙන ඇති ක්‍රීඩකයින් අතර 5වන ස්ථානයට පැමිණීමට දිමුත් කරුණාරත්නට හැකි වූ අතර ගාල්ල ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ඉනිම් 37කදී ලකුණු 2382ක් ලබාගෙන ඇති මහේල ජයවර්ධන වේ. (Average 70.06)
ඊට අමතරව දිමුත් කරුණාරත්නට හොඳ සහයක් ලබාදෙමින් දනන්ජය ද සිල්වා අද දින තම ටෙස්ට් දිවියේ 9වන අර්ධ ශතකය ලබාගැනීමට සමත් වූ අතර, පලමු දිනය අවසන් වන විට ඔහු නොදැවී ලකුණු 56 (77)ක් ලබාගෙන සිටියා.
ශ්‍රී ලංකාව – 267/3 (88)
පැතුම් නිස්සංක – 56 (140) 4*7 | 6*0
දිමුත් කරුණාරත්න – 132* (265) 4*13 | 6*0
ඕෂධ ප්‍රනාන්දු – 3 (27)
ඇන්ජලෝ මැතිව්ස් – 3 (25)
දනන්ජය ද සිල්වා – 56* (77) 4*5
පන්දු යැවීමේදී Roston Chase ලකුණු 42කට කඩුලු දෙකක් හා Shannon Gabriel ලකුණු 56කට එක් කඩුල්ලක් ලබාගැනීමට සමත් වුණා.