ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තුවක් එක් කරමින් හතරවන දිනය අවසන් වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) පකිස්තානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ 4 වන දිනය අද (27) අවසන් වූ අතර, අද දිනයේදී පකිස්තාන කණ්ඩායම වෙත අභියෝගයක් ලබාදෙමින් තරඟයේ වැඩි ගෞරවය තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 

 

ඊයේ (26) තරඟය තුන්වන දිනට අවසන් කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබාසිටි අතර, අද දිනයේ ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා කඩුලු 8න් දැවී ලකුණු 360ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊයේ දිනයේ නොදැවී කඩුල්ලේ රැඳීසිටි දනංජය ද සිල්වා හා නායක දිමුත් කරුණාරත්න ඉනිමේ 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගීමට සමත්වූ අතර, දිමුත් කරුණාරත්න ටෙස්ට් දිවියේ සිය 31 වන අර්ධ ශතකය ලබාගැනීමට සමත්වුණා.

 

 

එහිදී ඔහු පන්දු 105කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 61ක් ලබාගැනීමට සමත්විය.

දිමුත් කරුණාරත්න ලබාගත් මෙම ලකුණු 61ත් සමඟින් ඔහු ටෙස්ට් තරඟවලදී ලකුණු 6000 සීමාව පසුකර යාමට ද සමත්වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 පසුකර 6 වන ක්‍රීඩකයා බවට පත්වීමට සමත්වුණා.

 

 

මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 සීමාව පසුකර ඇති ක්‍රීඩකයින් 6 දෙනා මෙන්න,

 

1) කුමාර් සංගක්කාර (2000-2015)

 

 

තරඟ 134කදී ඉනිම් 233ක් ක්‍රීඩා කරමින් ලකුණු 12400ක් ලබාගැනීමට සමත්වී ඇත. අර්ධ ශතක 52ක් , ශතක 38ක් ලබාගෙන ඇති ඔහු ද්විත්ව ශතක 11කට හිමිකම් කියයි. (ඉනිමක වැඩිම ලකුණු 319)

 

2) මහේල ජයවර්ධන (1997-2014)

 

 

තරඟ 149කදී ඉනිම් 252ක් ක්‍රීඩා කරමින් ලකුණු 11,814ක් ලබාගැනීමට සමත්වී ඇත. අර්ධ ශතක 50ක් , ශතක 34ක් ලබාගෙන ඇත. (ඉනිමක වැඩිම ලකුණු 374)

 

3) සනත් ජයසූරිය (1991-2007)

 

 

තරඟ 110කදී ඉනිම් 188ක් ක්‍රීඩා කරමින් ලකුණු 6973ක් ලබාගැනීමට සමත්වී ඇත. අර්ධ ශතක 31ක් , ශතක 14ක් ලබාගෙන ඇත. (ඉනිමක වැඩිම ලකුණු 340)

 

4) ඇන්ජලෝ මැතිව්ස් (2009-2022***)

 

 

මේ වන විට තරඟ 100කදී ඉනිම් 178ක් ක්‍රීඩා කරමින් ලකුණු 6953ක් ලබාගැනීමට සමත්වී ඇත. ඔහු අර්ධ ශතක 38කට හා  ශතක 13ක් හිමිකම් කියයි. (ඉනිමක වැඩිම ලකුණු 200*කි)

 

5) අරවින්ද ද සිල්වා (1984-2022)

 

 

තරඟ 93කදී ඉනිම් 159ක් ක්‍රීඩා කරමින් ලකුණු 6361ක් ලබාගැනීමට සමත්වී ඇත. අර්ධ ශතක 22ක් , ශතක 20ක් ලබාගෙන ඇත. (ඉනිමක වැඩිම ලකුණු 267)

 

6) දිමුත් කරුණාරත්න (2012-2022****)

 

 

මේ වන විට තරඟ 82කදී ඉනිම් 158ක් ක්‍රීඩා කරමින් ලකුණු 6023ක් ලබාගෙන සිටී. ඔහු අර්ධ ශතක 31ක් හා ශතක 14ක් ද රැස්කරගැනීමට සමත්වී ඇත.. (ඉනිමක වැඩිම ලකුණු 244කි.)

දිමුත්ගේ දැවීයාමෙන් අනතුරුව මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාල පන්දු 27කදි ලකුණු 18ක් ලබාසිටියදී දැවීගිය අතර, කණ්ඩායමට අවශ්‍යම මොහොතේදී විශිෂ්ඨ ශතකයක් ලබාගත් දනංජය ද සිල්වා පන්දු 171කට මුහුණදෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 109ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

මෙම ශතකය, දනංජය ද සිල්වාගේ ටෙස්ට් දිවියේ 9 වන ශතකයයි.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම අත්හිටුවන විට කඩුලු 8ක් දැවී ලකුණු 360ක් ලබාසිටි අතර දනංජය ද සිල්වා සමඟින් එක්ව හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි රමේෂ් මෙන්ඩිස් පන්දු 54කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ද ලබාගෙන සිටියා.

 

 

පන්දු යැවීමේදී Naseem Shah හා Mohammed Rizwan කඩුලු 2 බැඟින් දවාගත් අතර, Yashir Shah , Nauman Ali , Agha Salman එක් කඩුල්ල බැඟින් ද ලබාගැනීමට සමත්විය.

ඒ අනුව, පකිස්තාන කණ්ඩායම සඳහා තරඟය ජයග්‍රහණය කිරීමට ලකුණු 507ක දැවැන්ත ඉලක්කයක් හිමිවූ අතර, සිය දෙවන ඉනිම ආරම්භ කරමින් ලකුණු 42ක පලමු කඩුල්ලේ සබඳතාවය බිඳ දමමින් ප්‍රබාද් ජයසූරියගේ පන්දුවක් හමුවේ වෙල්ලාලගේ අතට උඩපන්දුවක් ලබාදෙමින් Abdullah Shafique දැවීගියේය.  (පකිස්තානය 89/1))

 

 

හෙට (28) අවසන් දිනයේදී පකිස්තානයට තරඟය ජයගැනීමට තවත් ලකුණු 419ක් ලබාගත යුතු වන අතර, ශ්‍රී ලංකාවට තරඟය ජයගැනීම සඳහා පකිස්තාන ඉනිමේ ඉතිරි කඩුලු 9 ලබාගත යුතුවේ.

 

දුනිත් වෙල්ලාලගේ රැකගත් සුපිරි උඩපන්දුව (වීඩියෝව) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *