ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) 2022 ආසියානු කුසලාන තරඟාවලිය ආරම්භ වෙමින්, පලමු තරඟය ලෙස පැවතී ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා, පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 105 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ භානුක රාජපක්ෂ පන්දු 29කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගත් අතර ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමට ලක්වුණා.

 

 

ඊට අමතරව, ඉනිමේ අවසන් බාගයේදි චාමික කරුණාරත්න පන්දු 38කට මුහුණදෙමින් හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබාගත් අතර, දනුශ්ක ගුණතිලක පන්දු 17කදී ලකුණු 17ක් ලබාගැනීමට සමත්වුණා. අන් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකිවිය.

 

 

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 9ක් ලකුණු 75කට දැවීගිය අතර, ඉන් අනතුරුව මංගල තරඟය ක්‍රීඩා කළ ඩිල්ශාන් මධුසංක සමඟින් එක්ව චාමික කරුණාරත්න 10 වන කඩුල්ල සඳහා ලකුණු 30ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වුණා. මෙම සබඳතාවය, ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟයකදී 10 වන කඩුල්ල සඳහා එක් කළ හොඳම සබඳතාවයයි.

 

 

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟාවලියකදී 10 වන කඩුල්ල සඳහා ගොඩනඟා තිබූ ඉහළම ලකුණු සබඳතාවය 16*කි. (ලසිත් මාලිංග & නුවන් ප්‍රදීප් – 2019 – ඕස්ට්‍රේලියාවට එරෙහිව)

පන්දු යැවීමේදී, Fazalhaq Farooqi විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 3.4ක් අවසානයේදී ලකුණු 11කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Mujeeb Ur Rahman , Mohammed Nabi කඩුලු 2 බැඟින් හා Naveen-ul-haq එක් කඩුල්ලක් ද බිඳ දැමීය.

 

 

ඉන් අනතුරුව ලකුණු 106ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඇෆ්ගනිස්තාන කණ්ඩායම පහර පිට පහර එල්ල කරමින් පන්දුවාර 10.1ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් බිඳවැටී ලකුණු 106ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz පන්දු 18කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 40ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව Hazratullah Zazai පන්දු 28කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 37ක ලබාගත් අතර, Ibrahim Zadran පන්දු 13කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී වනිඳු හසරංග පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 19කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.

ඒ අනුව, ශ්‍රී ලංකාව මුහුණදුන් පලමු තරඟයෙන්ම ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වූ අතර, මෙම තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 11කට කඩුලු 3ක් බිඳ දැමූ Fazalhaq Farooqi වේ.

 

පැතුම් නිස්සංකගේ ආන්දෝලනාත්මක දැවීයාම (වීඩියෝව) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *