ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටය ජයග්‍රහණයකින් අරඹයි.

(මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිම වීඩියෝ එක පහළින් නැරඹිය හැක) 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 09 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත්වුනා.

 

 

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක Andrew Balbrinie පලමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර, ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 128 ක් ලබාගැනීමට සමත්විය.

අයර්ලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Harry Tector පන්දු 42 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 45 ක් ලබා ගැනීමට සමත්විය.

 

 

මීට අමතරව පෝල් ස්ටර්ලින් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 04 ක් සමග ලකුණු 34 ක් ලබාගත් අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවටත් ලගා වීමට නොහැකිය විය.

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 19 කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 2ක් ද බිනුර ප්‍රනාන්දු ,ලහිරු කුමාර, චාමික කරුණාරත්න හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

 

අනතුරුව ලකුණු 129ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 133 ක් ලබාගනිමින් ජයග්‍රාහි ඉලක්කය ඉතා පහසුවෙන් පසු කර යෑමට සමත්වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 43කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 68 ක් ලබාගැනීමට සමත්විය.

 

 

කුසල් මෙන්ඩිස් අද වාර්තා කළ අර්ධ ශතකයත් සමඟින්, අඩුම ඉනිම් සංඛ්‍යාවකින් විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතක 10 ක් වාර්තා කල ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක් වුනා. ඒ ඉනිම් 45 කින්.

කුසල් ජනිත් පෙරේරා – ඉනිම් 50

 

 

මහේල ජයවර්ධන – ඉනිම් 52

 

 

TM ඩිල්ෂාන් – ඉනිම් 57

 

 

එසේම ඔහු අද ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 1000 සීමාවද පසු කිරීමට සමත්වුනා. ඒ එම කඩයිම පසු කළ 09 වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වෙමින්.

කුසල් මෙන්ඩිස්ට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 22කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 31 ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු ධනංජය ද සිල්වා පන්දු 25 කදී  හයේ පහරක් හා හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී  Gareth Delany ශ්‍රී ලංකා ඉනිමේ බිඳී ගිය එකම කඩුල්ල වන ධනංජය ද සිල්වාගේ කඩුල්ල දවාගැනීමට සමත්වුණා.

ඒ අනුව, මෙවර ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු ජය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරඟයේ වීරයා සම්මානය, නොදැවී ලකුණු 68ක් ලබාගත් කුසල් මෙන්ඩිස්ට හිමිවිය.

 

 

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිම ඇතුළත්ව, සම්පූර්ණ ශ්‍රී ලංකා ඉනිම (Highlights)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *