ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්. වාර්ථා රැසක් අලුත් වෙයි.

ශ්‍රී ලංකා – බංගලාදේශය අතර තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වූයේ තරඟ 1-0 ක් ලෙස ශ්‍රී ලංකාවට තරඟාවලි ජයක් හිමි කර දෙමින් ය. ඒ දෙරට අතර දෙවෙනි ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව ලකුණු 209ක දැවැන්ත ජයග්‍රහණය ලබාගැනීම නිසායි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 493ක් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 118ක් ලබා ගැනීමට සමත් වූයේ හතරේ පහර 15ක් සමඟිනි. ශ්‍රී ලංකා පලමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ළහිරු තිරිමාන්න රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 140ක්. ඊට අමතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 81ක් ද, නිරෝශන් දික්වැල්ල නොදැවී ලකුණු 77ක් ද ලබා ගැනීමට සමත් විය.

පලමු තරඟයේ හොඳින් පන්දුවට පහර දුන් බංගලාදේශය කණ්ඩායමට දෙවෙනි තරඟයේ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 251ක් පමණි. බංගලාදේශය ඉනිම වෙනුවෙන් ටමීම් ඉක්බාල් පමණක් අර්ධ ශතක රැස් කිරීමට සමත් වූයේ ලකුණු 92ක් ලබා ගනිමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට කඩුලු 6ක් බිඳ හෙලීමට සමත් විය. මංගල ටෙස්ට් තරඟයේදීම ඉනිමක කඩුලු 5+ක් දවාගත් 5වන පන්දු යවන්නා වීමට හැකි වූයේ මංගල ටෙස්ට් තරඟයේ ඉනිමක හොඳම පන්දු යැවීම සිදුකළ පන්දු යවන්නා වෙමිනි. ඊට අමතරව රමේශ් මෙන්ඩිස් හා සුරංග ලක්මාල් කඩුලු 2 බැඟින් ලබාගැනීමට සමත් විය.

ඉන් අනතරුව ලකුණු 242ක වාසියක් සමඟ දෙවෙනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් බිඳ වැටී ලකුණු 194ක් ලබාගෙන සිටියදී බංගලාදේශය කණ්ඩායමට පන්දුවට පහරදීමට ලබාදුන්නේ ඔවුන්ට ලකුණු 436ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනි. ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 66ක් ලබාගත් දිමුත් කරුණාරත්නයි. ඒ අනුව පලමු ටෙස්ට් තරඟයේ දී ලබාගත් ද්විත්ව ශතකයත් සමඟ මුළු තරඟාවලියේ දී දිමුත් කරුණාරත්න ලකුණු 428 ක් ලබාගැනීමට සමත් විය. එය බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟාවලියක කුමාර් සංගක්කාරගෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාවයි. ඊට අමතර වසර 11 පෙර ඇලස්ටෙයාර් කුක් විසින් පිහිටුවා තිබූ නායකයෙක් බංගලාදේශය කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟාවලියකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වර්ථාවක් ද බිඳ හෙලීමට දිමුත් කරුණාරත්න සමත් විය. (2010 ඇලස්ටෙයාර් කුක් – 342)

ඉන් අනතුරුව පරාජයෙන් ගැලවීම සඳහා දෙවෙනි ඉනිම ආරම්භ කළ බංගලාදේශ කණ්ඩායමට රැස් කිරීමට සමත් වූයේ සියලුම දෙනා දැවී ලකුණු 227ක් පමණයි. දෙවෙනි ඉනිමේදී ද විශිෂ්ඨ පන්දු යැවීමක් වාර්ථා කළ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 86කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූයේ සමස්ත තරඟයේ දී කඩුලු 11ක් තමන් සතු කර ගැනිමින් ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරඟයේ හොඳම පන්දු යැවීමේ වාර්ථාවද අලුත් කිරීමට 22 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. ඊට අමතරව රමේශ් මෙන්ඩිස් ලකුණු 103කට කඩුලු 4ක් ද, දනංජය ද සිල්වා එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව දෙවෙනි ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක දැවැන්ත ජයක් ලබා ගැනීමට දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *