ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් පරිපාලනයට හා ක්‍රීඩකයින්ට එරෙහිව පාරට බහින කාලය වැඩි ඈතක නොවේ.

ශ්‍රී ලංකා – එංගලන්තයට අතර තුන්වන එක්දින තරඟය වර්ෂාව හේතුවෙන් නවතා දැමීමට සිදුවූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් ඉතිරි කරමින් එක්දින තවත් තරඟාවලියක් නිමාවට පත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවී ඇති මෙම කඩාවැටිමට හේතුව ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් පරිපාලනද වගකිය යුතු වන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනෙන් දින විනාශ ව නිසාවෙන් කනාගාටුවකට පත් වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයෙක් වන ධම්මික ප්‍රසාද් තම ෆේස්බුක් ගිනුමේ සටහනක් කර තිබිණි.


1982 දී ටෙස්ට් ක්‍රිකට් වරම් දිනු අප 1985 දී තම ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ලබා කෙමින් කෙමින් ක්‍රිකට් ලෝකය දික් විජය කරන ලදී. 1996 දී ලෝක කුසලානය දිනු අප මුළු ක්‍රිකට් ලෝකයම උඩුයටි කුරු කරන ලදී. එතැන් පටන් අප ආ ගමන් මග කිසිවිටක අමතක කල නොහැක. මිනිසුන් මේ ක්‍රීඩාවට ආදරය කරනු ලබන්නේ මේ නිසාය, මෙය ඔවුන්ගේ ලෙය හා බද්ධ වී තිබෙනනේ මේ නිසාය. ඔවුනට මෙය තමන්ගේ ප්‍රශ්න අමතක කර ජිවිතයේ සතුට සැනසීම විදින කාරණාවක් ද වී පැවැතිනි. එම නිසා ඔවුන් මේ ක්‍රීඩාව තුලින් පුදුමාකාර ආත්මතෘප්තියක් ලැබුවේය.එමනිසා එම සතුට සැනසීම උදුරා ගනු  ලැබීම සාධාරණ නැත.

අප රටේ යුද්ධය පැවති සමයන් වලදීද නිල නොලත් ආකාරයෙන් යුද විරාමයන් මේ ක්‍රීඩාව නිසා ලබා ගත් බවද අසා දැන ගන්නට ලැබී ඇත. එමගින් බලන කල මෙය ජාතින් අතර විටින් විට සමගිය වඩවා ඇති පාලමක් සේද අපට දැක ගත හැකිය. එමනිසා මෙයට මෙයාකාරයෙන් ආදරය කරන ආගමක් සේ සලකන ක්‍රීඩා ලෝලීන්ට තරහා යාමද වරදක් නැත, මා එහි වැරද්දක් දකින්නේද නැත. හරි තීරණ ගැනීමට කාලය එළබි ඇති බව මාගේ දැඩි විශ්වාසයි. නැති වුවහොත් මේ ක්‍රීඩා ලෝලීන්ම ක්‍රිකට් පරිපාලනයට සහ ක්‍රීඩකයන්ට එරෙහිව පාරට බසිනා දින වැඩි ඈතක නොවනු ඇත.


එමනිසා තමන්ගේ පෞද්ගලික අභිමතාර්ත ඉටු කර ගැනීමට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ද වී සිටින සියලුම දෙනාට මේ තරගාවලියෙන් පසු හොද කනේ පහරක් වදින බව මා විශ්වාස කරමි. ප්‍රේක්ෂකයා රවට්ටිය නොහැක. ඔවුන් බුද්ධිමත්ය. එමනිසා ජෙෂ්ටත්වයන් රැක ගැනීම ඔවුන් සතුය. 2023 ලෝක කුසලානය සදහා කණ්ඩායම සුදානම් කිරීමට යාමේදී ප්‍රසිද්දියේම කණ්ඩායමේ ජෙෂ්ටයන්ට වුයේ අසාධාරණයකි.

වයස අවුරුදු 32 වැඩි වුවන් වයස වැඩියයි කියා කණ්ඩායමෙන් අයින් කර අත් දැකීම් අඩු ලාබාල කණ්ඩායමක් යවා ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේදී බාල්දු වන විට, විස්තර විචාරකයින් හෑල්ලුවට ලක් කරන විට මෙහි වගකීම ගැනීමට ඉදිරිපත් වන්නේ කවුරුන්ද? පරාජයන් විද දරා ගැනීමට සියලුම දෙනාට පුළුවන, නමුත් වගකීම් විරහිත ක්‍රීඩා විලාශයට කිසිසෙත් සමාව දිය නොහැකිය. එමනිසා දැන්වත් ක්‍රීඩකයන් සහ පවතින කොන්ත්‍රාත්තු මත ගැටුම් ඉක්මනට විසදා ගෙන හරිම කණ්ඩායම ඉදිරි තරග වලට යෙදවීම අප ශ්‍රී ලාංකීය ක්‍රිකට් අනාගතයට හිතකරය.


අපට ඇස්, කන් වසා සිටීමට බැරිය. මෙසේ වුවහොත් මෙය අනාතයේ සිම්බාබ්වේ දේශයේ ක්‍රිකට් වලට වූ දෙයම අපටද අත් විදිය හැක. එය එසේ වීමට හෝ තනි තීරණ ගෙන මෙය විනාශ මුකයට අද ගෙන යාමට මම, අප ඉඩ තබන්නේ නැති බවද ඉතාමත් කාරුණිකව අවධාරණය කිරීමට කැමතිය. එමනිසා මෙය ක්‍රිකට් ගැසූ පලියට කාගේ හෝ බුදලයක් නොවන බවද අවධාරණය කිරීමටද කැමතිය. අපට වඩා වටිනුයේ ක්‍රිකට් විනා පුද්ගලයන් නොවේ. සදාචාරාත්මක නොවන නිසා මට මෙහි නම් සදහන් කල නොහැක.

අනික්  කාරණාවනම් ලොකු වැටුප් ගෙවා සුදු ජාතිකයන් ගෙන්වා ගැනීම තුලින් අප ලබා ඇති ප්‍රතිලාබ සහ ප්‍රථිපල කවරේද? නිදසුනක් ලෙස එන්ගලන්තය බලා ගිය කණ්ඩායමේ පෙර සුදානම ගැන කිසිසෙත් සැහීමකට පත් විය නොහැක. පෙර ප්‍රතිපලද සැහීමකට පත් විය නොහැක. එමනිසා ඔවුන්ගෙන් අපට ඇත්තටම වැඩක් තියේද? අනික මහා ලොකුවට කථා කල ශාරීරික යෝග්‍යතාවය අවසන් ප්‍රතිපලය කුමක්ද? ක්‍රීඩකයෙක් ලෙස අනිවාර්යෙන්ම ශාරීරික යෝග්‍යතාවය හොද මට්ටමක පැවතිය යුතුය. එයට වඩා බලපානුයේ තරග යෝග්‍යතාවය වේ. එමනිසා අප වැඩි කලක් ගත කලේ ඒ සදහාය.


එහි ප්‍රතිපල අද අප අත් විදිමින් සිටි. විනය ගැන කථා කල නොහැක. අප දැනට කල යුත්තේ සිටින හොදම කණ්ඩායම තෝරා මේ දිනෙන් දින පරිහානියට පත් වන ක්‍රිකට් ස්ථාවර කිරීමය. ඒ සදහා කිසිම කෙනෙකුට තනි තීරණ ගැනීමට ඉඩ නොදිය යුතුය. තරුණයන්ට අවස්ථා දිය යුතුය නමුත් ඊට පෙර අප අපේ ක්‍රිකට් රැක ගත යුතුව ඇත. එමනිසා තවමත් අප පරක්කු නැත අපගේ සිටින පළපුරුදු ක්‍රීඩකයන් සහ තරුණ ක්‍රීඩකයන් සංකලනය තුලින් ස්ථාවරත්වය ගොඩ නගා ගත හැකි බව මාගේ මතයයි.

මීට වඩා වැටෙන්නට තැනක් නැත, මීට වඩා ලජ්ජා විදින්නටද බැරිය, හිටපු ක්‍රීඩකයන් ලෙස අපට එන පීඩනයද වැඩිය. මට මේ කණ්ඩායම අපට දැනට සිටින කණ්ඩායම ලෙස මෙහි පල කර හැක. එයද සදාචාරත්මක නොවේ. එමනිසා යම් පුද්ගලයන්ගේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කර ගැනීමට නොව රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකි, විනයානුකුල ක්‍රීඩකයන් යොදවා රට විහිලුවට ලක් වීම, අප විහිළුවට ලක් වීම වලක්වා ගත හැක.

ඔබ මේ ක්‍රීඩාව සතුටින්, යෝග්‍යතාව පවත්වා ගනිමින් ක්‍රීඩා කරන්නේද එසේනම් කිසිසේත්ම ඔවුන්ගේ වයස අදාළත්වයක් කර ගත යුතු නැත. අදාල වනුයේ දක්සතාවය පමණි. එමනිසා මිනිසුන් ආදරයෙන් ඇදහු, අදහන මේ ක්‍රීඩාව වල පල්ලට ඇද දැමීමට අප කිසිම කෙනෙකුට ඉඩ නොතබන බවද කාරුණිකවම අවධාරණය කිරීමටද කැමතිය. මට, අපට සෑම දෙයකටම වඩා අපට වටිනුයේ ක්‍රිකට්ය.( සැයූ – හිතට දැනුනු දේ වචන කරන ලදී)


ධම්මික ප්‍රසාද්ගේ ෆේස්බුක් ගිනුමෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *