ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට හේතුව.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන හදිස්සියේම ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කල බවට ඊයේ (31) නිවේදනය කලා.


ශ්‍රී ලංකාව වෙනුවෙන් 2009 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනාගැනීමට ඉසුරු උදාන සමත් වූ අතර,  ඔහුට එක්දින වරම් හිමිවූයේ ඉන් වසර තුනකට පසුවයි. 2012 වසරේ ඉන්දියාවට එරෙහිව තම මංගල එක්දින ජාත්‍යන්තර තරඟයට සහභාගි වීමට වරම් ලැබූ ඉසුරු උදාන මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 34 ක් තුලදී කඩුලු 27 ක් දවාගෙන තිබෙන අතර එක්දින තරඟ 21 ක් තුල කඩුලු 18 ක් දවාගැනීමට ද සමත්වී තිබෙනවා.


ඉසුරු උදාන ඉතා සුවිශේෂි ආකාරයක වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩකයෙක්. 2010 වසරේ චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ වයඹ කණ්ඩායම නියෝජනය කල ඉසුරු උදාන එහිදී නීත්‍යානුකූල පන්දු දෙකකදී කඩුලු ත්‍රිත්වයක් ( Hat-trick ) දවාගැනීමට සමත්වුනා.එනම් කඩුලු ත්‍රිත්වයේ දෙවන කඩුල්ල ලෙස දැවීගිය මැතිව් සින්ක්ලෙයාර් දැවීගියේ වයිඩ් පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුවීමෙන්ය.එමෙන්ම චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කල පලමු පන්දුයවන්නා වනුයේද ඉසුරු උදානයි.


ලොව පුරා ලීග් තරඟාවලියන් රැසකට තම දායකත්වය සැපයූ ඉසුරු උදාන 2020 වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී විරාට් කෝලි නායකත්වය දරණ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කිරීමට වරම් ලැබුවා. එහිදී ඔහු තරඟ 10ක් ක්‍රීඩා කරමින් කඩුලු 8ක් ලබාගැනීමට සමත් වූ අතර,  ඉනිම් 4කදී ලකුණු 15ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.


ඔහු හදිස්සියේම තම විශ්‍රාම යෑමට හේතුව ලෙස දරන්නේ මෙවන් අදහසක්.

“මගේ දයාබර මිතුරනි , ක්‍රිකට් මගේ විශිෂ්ඨතම ආදරය වුනා පමණක් නොව එය අනාගතයේදි ද එසේම වනු ඇත. මම ක්‍රිකට් පිටිය තුලදී සහ ඉන් පිටතදී 100% ක් ක්‍රීඩාව සඳහාම ලබාදුන් අතර , ක්‍රිකට් වල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට , රටේ ගෞරවය ආරක්ෂා කිරීමට සහ එයට ගරු කිරීමට මා සැමවිටම කටයුතු කලෙමි. කෙසේනමුත් මට විශ්‍රාම යෑමට කාලය එලඹ ඇති බව මා විශ්වාස කරමි.

ඊලඟ පරම්පරාවේ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමට කාලය පැමිණ ඇති බව මා විශ්වාස කරමි. මම මගේ රට නියෝජනය කරමින් සේවය කලේ ඉමහත් ආඩම්බරයෙන්, දැඩි විශ්වාසයකින් සහ අප්‍රමාණ කැපවීමකින් යුක්තවය. මගේ විශ්‍රාම යෑමෙන් පසුවත් මගේ සහෘද ක්‍රීඩකයින්ට මගේ උපරිම සහයෝගය ලබාදෙන බවට මම කියා සිටින අතර , මගේ ක්‍රිකට් දිවිය පුරාවටම මගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් මා අසලින්ම රැඳි ඔබ සියලු දෙනාට ස්තූතිය පුද කර සිටිමි.”


පුරා වසර 12 ක් ශ්‍රීලංකා ක්‍රිකට් වලට සිදුකල මෙහෙයට සහ නොමැකෙන මතක සටහන් වලට ස්තූතියි ඉසුරු උදාන, ඔබට සුභ විශ්‍රාම දිවියක්

Naveen Krishmal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *