ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට මුහුණදෙන ආකාරය දන්නවා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු පවසයි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව පලමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 386ක් ලබාගැනීමට සමත්විය. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් පලමු ඉනිම ආරම්භ වූ අතර, ඔවුන් මේ වන විට කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබාගෙන සිටිනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බිඳ වැටුන කඩුලු 8ම ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් විසින් ලබාගත් අතර, රමේශ් මෙන්ඩිස් කඩුලු 3ක් ද, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු තුනක් හා ලසිත් ලසිත් ඇඹුල්දෙණිය හා දනන්ජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් විය.
මේ අතර මෙම තරඟාවලිය ආරම්භයට පෙර පැවතී මාධ්‍ය හමුවේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු පිල් සීමන්ස් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නන්ට මුහුණදෙන ආකාරය ඔවුන් දන්නා බවයි.
“විශාල වශයෙන් දඟපන්දුවෙන් වැඩ ගන්න කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකාව හඳුන්වන්න පුලුවන්. ඔවුන් නිමාවුනු එංගලන්ත තරඟාවලියෙදි පන්දුයැවීම ආරම්භ කලේම දඟපන්දු යවන්නෙක්ගෙන්. අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුකරන්නෙ අලුත් පන්දුවෙන් දඟපන්දු යවන අවස්ථාවලදි එයට හොඳින් පහරදීලා ඉන්පසුව සාමාන්‍ය ආකාරයට පන්දුවට පහරදීමටයි.
අපි බංග්ලාදේශයට එරෙහිව එම ක්‍රමවේදයට අනුව ක්‍රීඩා කරලා එය සාර්ථකව ජයග්‍රහණය කලා. අපිට ඒ වගේ මානසිකත්වයක් ගොඩනගාගන්න වෙනවා මේ තරඟාවලියේදීත්.
අපිට ලෝක කුසලානයෙදි එක තරඟයක් පමණයි ජයගන්න පුලුවන් වුනේ. අපිට දැන් අවශ්‍ය නැවතත් ජයග්‍රාහී මාවතට පිවිසෙන්න. විශේෂයෙන්ම කොදෙව් දූපත්වලින් පිටදී අපි ක්‍රීඩා කරන තරඟාවලි ජයග්‍රහණය කිරීම.
තව දුරටත් අදහස් දැක්වූ පිල් සිමන්ස් ටෙස්ට් සංචිතයේ සිටින එකම ජාත්‍යන්තර ක්‍රිකට් වරම් නොලැබූ ක්‍රීඩකයා වන ජෙරමි සොලොසානෝ ගැන පැවසූවේ මෙවන් අදහසක්
” ඇත්තටම ඔහු සියලු දේ සපිරුණු පරිපූර්ණ තරුණ පිතිකරුවෙක්. අපි නායක ක්‍රේග් බ්‍රැත්වෙයිට්ගේ සහයට පිතිකරුවෙක් සොයමින් සිටි අවස්ථාවක තමයි අපිට ඔහුව මුණගැහුනේ. අපි ඉතා උද්‍යෝගයෙන් ඉන්නෙ අපේ මුල්පෙල පිතිකරුවන්ගෙ හිඩැස ඔහුට පුරවන්න හැකිවේවි කියලා. අපි පිතිකරුවො බොහෝ දෙනෙක්ව ආරම්භක පිතිකරු භූමිකාවට අත්හදා බැලුවත් ඒ කිසිවක් සාර්ථක උනේ නැහැ.”
කෙසේ නමුත්, මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ ජෙරමි සොලොසානෝ, පන්දු රකිමින් සිටින අතරතුරේදී පන්දුවක් වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඔහුට මෙම තරඟය ද අහිමි වූවා.
තරගාවලිය සඳහා සූදානම පිලිබඳව අදහස් දැක්වූ බටහිර ඉන්දීය කොදෙව් නායක ක්‍රේග් බ්‍රැත්වෙයිට්,
” පුහුණු සැසිවාරය හොදින් නිමාවුනා. ක්‍රීඩකයින් බොහොම සතුටින් ඉන්නෙ සැසිවාර සම්බන්ධව. මට අවශ්‍යයි නායකයා සහ ආරම්භක පිතිකරුවා වශයෙන් හොඳ ආරම්භයක් ලබාදීමට සහ එය ඉදිරියට පවත්වාගෙන යෑමට. කණ්ඩායමක් වශයෙන් අපි හොඳ සැලැස්මක් සහිතව ඉන්නෙ.”