ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බව නිවේදනය කර තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංගලාදේශයට හා එංගලන්තයට එරෙහිව එක්දින හා විස්සයි විස්ස තරඟාවලි සඳහා ඇන්ජලෝ මැතිවුස් , දිනේශ් චන්දිමාල් , සුරංග ලක්මාල් , තිසර පෙරේරා යන ක්‍රීඩකයින් හතර දෙනා එක් කර නොගැනීමට තේරීම් කමිටුව තීරණය කර ඇති නිසා තිසර පෙරේරා මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට ඇති බවට වාර්ථා වෙනවා.

මේ වන විට 32 හැවිරිදි තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මහඟු සේවයක් ඉටු කර ඇති අතර නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ජයග්‍රාහී ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම මෙහෙය වනු ලැබුයේ ද තිසර පෙරේරා විසිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 166ක් ක්‍රීඩාකර ඇති අතර ඉනිම් 133කදී ලකුණු 2338ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. අර්ධ ශතක 10ක් හා එක් ශතකයකට හිමිකම් කියන තිසර පෙරේරාගේ ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 140ක් ලබා ගැනීමයි. පන්දු යැවිමෙන් කඩුලු 175 ලබාගෙන ඇති අතර ඉනිමක කඩුලු හතරේ අවස්ථා 9ක් ද, කඩුලු පහේ අවස්ථා 4කටද හිමිකම් කියයි. එක්දින පිටියේ දී පකිස්ථානයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන ඇත.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ 84ක් ක්‍රීඩා කර ඇති අතර ඉනිම් 74කදී ලකුණු 1204ක් ලබාගෙන ඇත. අර්ධ ශතක 3කට හිමිකම් කියන තිසර පෙරේරාගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ලබාගෙන වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 61කි. පන්දුයැවීමේදී කඩුලු 51ක් ලබාගෙන ඇති අතර ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 24ට කඩුලු 3ක් දවාගැනීමයි. ඊට අමතර 2016දී ඉන්දියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට ඔහු සමත් වී තිබෙනවා.

2011 එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ සාමාජිකයෙකුද වන තිසර පෙරේරා 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග්‍රාහී ලකුණ ලබාගත් ක්‍රීඩකයා වන අතර ඔහු විසින් තරඟය අවසන් කළේ පන්දු යවන්නාගේ හිසට ඉහළින් අලංකාර හයේ පහරක් එල්ල කිරීමෙන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *