සනත් ජයසූරිය විසින් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට සුදුසු ශ්‍රී ලංකා කණ්ඩායමක් නම් කරයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ලබන 04 වන ආරම්භක වීමට නියමිත වන අතර, අද දින Chilling with russel නම් යූටියුබ් නාළිකාව ඔස්සේ හිටපු ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය හා රසල් ආනෝල්ඩ් විසින් ආරම්භක වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. ( සනත් ජයසූරිය විසින් නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම පහළින් සඳහන් කර ඇත)
එහිදී ප්‍රථම වශයෙන් රසල් ආනෝල්ඩ් විසින් ප්‍රකාශ කරන ලද්දේ, මෙවර ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ කණ්ඩායමක් සිටින බවත්, ඉන්දියා කණ්ඩායමට අභියෝගයක් ලබාදීමටනම් අනිවාර්යයෙන්ම පිතිකරුවන් ලකුණු ලබාගත යුතු බවයි.
“ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන්න ඉන්න කණ්ඩායම බැලුවොත් අපිට ගොඩාක් හොඳ කණ්ඩායමක් තියනවා. අපේ නායකයා, දිමුත් කරුණාරත්න කියන්නේ මේ වෙලාවේ ලෝකයේ ඉන්න හොඳම ආරම්භක පිතිකරුවා. ඔහු ගිය අවුරුද්දෙත් ලෝකෙන්ම වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා. ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම එකතු වෙනවා. මැතිව්ස් දැන් ටෙස්ට් තරඟ විතරක් සෙල්ලම් කරන නිසා අනිවාර්යයෙන්ම විකට් එක දෙන්නැතුව ලකුණු ගහන්න ඕනේ.”
“ළහිරු තිරිමාන්න පසුගිය තරඟාවලි ක්‍රීඩා නොකරපු නිසා එකපාරටම නැවතත් තරඟය සෙල්ලම් කරයි කියලා කියන්න බැහැ. ඊට අමතරව දිනේශ් චන්දිමාල් ටෙස්ට් තරඟ වලදී හොඳම ප්ලේයර් කෙනෙක්.”
“අපිට ලකුණු ගහන්න හොඳම පිතිකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. අපේ බෝලින් ගැන කිව්වොත් ඉන්දියාවේ අය පවා අපේ, ලහිරු කුමාර , දුශ්මන්ත චමීරගේ බෝලින් ගැන කතා කරනවා. ඒ නිසා අපේ බෝලින් පැත්තත් හොඳයි. හැබැයි ඉන්දියාවට ගේමක් දෙන්නනම් අනිවාර්යයෙන්ම අපේ පිතිකරුවන් ලකුනු ගහන්න ඕනේ.”
ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක චරිත් අසලංක පහුගිය විස්සයි විස්ස තරඟාවලි දෙකේදී ඔහුගෙන් බලාපොරොත්තු වූ ආකාරයට ලකුණු නොලැබුණ නමුත්, ඔහුට ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කිරීමට ලබාදිය යුතු බව ද රසල් ආනෝල්ඩ් විසින් ප්‍රකාශ කර සිටියා.
“චරිත් අසලංකට අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන්න අවස්ථාව ලබාදෙන්න ඕනේ. මොකද ඔහු අපේ ක්‍රිකට් වල අනාගතය. ඔහුට එක්දින , T20 වල උපනායකත්වයත් ලබාදීලා තියනවා. නමුත් අසලංක පසුගිය T20 තරඟ 8 දිම ඔහුගෙන් අවශ්‍ය දේ ලැබුණේ නෑ. එක අර්ධ ශතකයයි ලබාගත්තේ. ඒ නිසා මේ ටෙස්ට් තරඟත් ඔහුට ක්‍රීඩා කරන්න දීලා ඔහුට විශ්වාස ලබාදීලා නැවතත් ෆෝම් එකට ගන්න අවශ්‍යයි.”
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ දෙකේදී ,කණ්ඩායමෙන් ඉවත්ව සිටි ළහිරු තිරිමාන්න නැවතත් කණ්ඩායමට එකතුවී සිටින අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හොඳින් ලකුණු ලබාගත් නිසාවෙන් ඔහුට එම ස්ථානයේම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව සනත් ජයසූරිය විසින් පවසා සිටියා.
“පැතුම් නිස්සංක ආරම්භක ස්ථානයේ හොඳින් ක්‍රීඩා කරලා තියනවානම් ඔහුට අනිවාර්යයෙන්ම ඒ ස්ථානය ලබා දෙන්න ඕනේ. මොකද පැතුම් නියන්නේ අපේ අනාගතයට අවශ්‍ය ක්‍රීඩකයෙක්. ඒ නිසා පැතුම් ඕපන් ගහලා ලකුණු ගහලා තියනවානම් එයාගේ තැන වෙනස් කරන්න හොඳ නෑ. තිරිමාන්න කාලෙකට පස්සේ ආයෙමත් කණ්ඩායමට ආවේ. තිරිමාන්නලට දැන් වැඩි කාලයක් ක්‍රීඩා කරන්න ඉතුරුවෙලා නැහැ. තිරිමාන්න දැන් තරඟාවලියෙන් තරඟාවලිය ක්‍රීඩා කරන්න ප්ලෑන් කරන්න ඕනේ. ඒ නිසා පැතුම්ට ඕපන් එක දීලා තිරිමාන්න නම්බර් 03 ක්‍රීඩා කරන්න ඕනේ.”
ඒ අනුව සනත් ජයසූරිය විසින් නම් කරන ලද කණ්ඩාය,
1) දිමුත් කරුණාරත්න
2) පැතුම් නිස්සංක
3) ළහිරු තිරිමාන්න
4) චරිත් අසලංක
5) ඇන්ජලෝ මැතිව්ස්
6) දනංජය ද සිල්වා
7) දිනේශ් චන්දිමාල්
8) සුරංග ලක්මාල්
9) දුශ්මන්ත චමීර
10) ලසිත් ඇඹුල්දෙණිය
11) ලහිරු කුමාර
සනත් ජයසූරිය විසින් පවසා සිටියේ ඔහුගේ කණ්ඩායමේ නිරෝශන් දික්වැල්ල නොමැති බවයි.
කෙසේ නමුත් රසල් ආනෝල්ඩ් විසින් දිනේශ් චන්දිමාල් වෙනුවට නිරෝශන් දික්වැල්ලව ඇතුළත් කරගන්නා බව පවසා සිටි අතර, එවිට දනංජය ද සිල්වා නම්බර් 6 හා නිරෝශන් දික්වැල්ල නම්බර් 7 ක්‍රීඩා කළ යුතු බව ප්‍රකාශ කර සිටියා.
දෙරට අතර පලමු ටෙස්ට් තරඟය මාර්තු 04 වන දින සිට මාර්තු 8 වන දින තෙක් හා, දෙවන තරඟය මාර්තු මස 12 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.