සිම්බාබ්වේ කණ්ඩායම අපට ලේසියෙන් ලකුණු ලබාගැනීමට අවස්ථාව ලබාදුන්නේ නැහැ – දසුන් ශානක
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟය තරඟ 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර, තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හොඳින් දස්කම් දැක්වූ අතර, තරඟාවලියේ වීරයා සම්මානය යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංකට දිනාගැනීමට හැකිවුණා.
තුන්වනි තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්, තරඟාවලිය සම්බන්ධව හා ක්‍රීඩකයින්ගේ දක්ශතා සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
තරඟාවලියේදී මුල් තරඟ දෙකේදීම සිම්බාබ්වේ කණ්ඩායම හොඳ තරඟයක් ලබාදුන් අතර, නායක දසුන් ශානක පවසා සිටියේ ඔවුන් තරඟාවලිය ආරම්භයට පෙර අපගේ ක්‍රීඩකයින්ව හොඳින් අධ්‍යනය කර ඇති බවයි.
“අපි මේ තරඟාවලියේදී ගොඩාක් අත්දැකීම් ලබාගත්තා. මම බලාපොරොත්තු වුණා අපේ මුල් පෙළ පිතිකරුවන් ශතක ලබාගනීවි කියලා. නමුත් අවසානාවකට ඒ දේ ලබාගැනීමට නොහැකි වුණා. සිම්බාබ්වේ කණ්ඩායම හිතුවට වඩා හොඳ තරඟයක් දුන්නා. ඔවුන් අපේ ක්‍රීඩකයින්ව ගොඩාක් ඇනලයිස් කරලා අපිට ලේසියෙන් ලකුණු ලබාගැනීමට ඉඩ ලබාදුන්නේ නැහැ. ඉතින් මේ තරඟාවලියෙන් ලබාගත්‍ත අත්දැකීම් අපි ඊලඟ තරඟාවලි වලට ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා”
“අපි පසුගිය එක්දින තරඟාවලිය ක්‍රීඩා කළ සංචිතයේ සිටි ක්‍රීඩකයින් 7,8 දෙනෙක් මෙම තරඟාවලිය ක්‍රීඩා කළේ නැහැ. ඒ නිසා මේ තරඟාවලියේදී අපේ තරුණ ක්‍රීඩකයින්ව වැඩි අවස්ථාවක් ලැබුණා. ඕස්ට්‍රේලියා තරඟාවලියට කලින් අපේ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට හැකිවීම ගොඩක් වටිනවා.”
තුන්වන එක්දින තරඟයේදී, ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නා වන දුශ්මන්ත චමීර පළමු පවර්ප්ලේ අවස්ථාවේදී පිට පිට පන්දු දෙකකින් කඩුලු දෙකක් ලබාගෙන තරඟයට හොඳින් අවතීර්ණ වූ අතර, නායක දසුන් ශානක පවසා සිටියේ දුශ්මන්ත චමීර ලෝකයේ සිටින හොඳම පන්දුයවන්නන්ට අතරට පැමිණ ඇති බවයි.
“දුශ්මන්ත චමීර පසුගිය කාලය පුරාවටම හොඳින් පන්දු යව්වා. ඔහු කොවිඩ් වලින් පස්සේ තමයි මේ තරඟාවලියට පැමිණියේ. ඔහු ක්‍රීඩා කළ පලමු තරඟයේදී සාර්ථක වීමට නොහැකි වුනත්, මේ තරඟයේදී ඔහුට නැවතත් සාර්ථක වීමට හැකියාව ලැබුණා. දුශ්මන්ත චමීර දැන් ලෝකයේ ඉන්න හොඳම පන්දු යවන්නන්ගෙන් එක්කෙනෙක් බවට පරිවර්තනය වෙලා තියනවා.”
තරඟාවලියේ දෙවන එක්දින තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර, එම තරඟයේදී නායක දසුන් ශානක මංගල එක්දින ශතකය ලබාගැනීමට සමත්විය. එම තරඟය සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කරන ලද්දේ මෙවන් අදහසක්,
“දෙවන එක්දින තරඟය ගොඩාක්ම හොඳ තරඟයක් තිබුණා. අපේ මුල් කඩුලු කිහිපය ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් අනතුරුව අපිට 280ක් වැනි ලකුණු ප්‍රමාණයකට යන්න හැකිවුණා. නමුත් මට හිතෙන්නේ මම ශතකයක් ලබාගත්තත්, මගේ කාර්යය හරියට ඉටු වුණේ නැහැ. මගේ වගකීම වන්නේ කණ්ඩායම දිනවන එක. මට ඒ තරඟය ජයග්‍රහණය කරන්න හැකිවුණානම් මම හිතනවා මම ඒ ලබාගත් ශතකයේ වටිනාකම තවත් වැඩිවෙන්න තිබුණා කියලා. මම ඒ තරඟයේදී ගොඩක් පොසිටිව් විදිහට ක්‍රීඩා කරා. ඉදිරි තරඟ වලත් හොඳින් ක්‍රීඩා කරන්න මට ඒ ඉනිමෙන් පස්සේ ලැබුණ විශ්වාසය ගොඩක් උදව් වේවි.”
පසුගිය LPL තරඟාවලියේ හොඳින් දස්කම් දැක්වූ නුවන් තුශාර මෙවර සංචිතයේ ඇතුළත් වී සිටි නමුත් ඔහුට එක තරඟයක්වත් ක්‍රීඩා කිරීමට නොලැබුණ අතර, දසුන් ශානක පැවසූවේ ඉදිරියේදී ඔහුට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.
“නුවන් තුශාර කියන්නේ හොඳ ආයෝජනයක්. ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හොඳින් ක්‍රීඩා කළා. එම තරඟාවලිය විස්සයි විස්ස තරඟාවලියක්. ඊට පස්සේ ඔහුව ක්‍රමයෙන් එක්දින තරඟවලට යොදාගන්න, අපේ තේරීම් කමිටුවට හොඳ පැහැදීමක් තියනවා. මම හිතනවා ඔහුට ඉදිරියේදී විස්සයි විස්ස හා එක්දින තරඟවලදී හොඳ අනාගතයක් තියේවි.”
ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ වන විට 19න් පහළ ලෝක කුසලානය ක්‍රීඩා කරමින් සිටින අතර, ජාතික කණ්ඩායමේ නායක දසුන් ශානක, අවසාන වශයෙන් ඔවුන්ට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සුභපැතුම් එක්කර සිටියා
“මම අපේ Under 19 කණ්ඩායමේ ක්‍රීඩකයින්ව පෞද්ගලිකව අදුරනවා. මම ඔවුන්ගේ පහුගිය තරඟත් Follow කරා. දුනිදු වෙල්ලාලගේ පන්දුවෙනුත්, පිත්තෙනුත් ඔහු ඉතාමත් හොඳ ෆෝම් එකක ඉන්නවා. අපේ ටොප් ඕඩර් එකේ චමිඳු වික්‍රමසිංහ එක්ක අනෙක් පිතිකරුවනුත් ලොකු ලකුණු ප්‍රමාණයන් ලබාගත්තොත් ඔවුන්ට තරඟාවලිය ජයග්‍රහණය කිරීමට පුලුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තරඟාවලිය හොඳින් ක්‍රීඩා කරලා පලමු වතාවට Under 19 ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකිවේවා කියලා මම ඔවුන්ට සුභපතනවා.”