“සුපර් ඕවරේදී පන්දුවට පහරදීමට දනුශ්ක ගුණතිලකව එවන්න තිබුණා” රසල් ආනල්ඩ් හා සනත් ජයසූරිය
ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස තරඟය ලකුණු සමවීමෙන් අනතුරුව පැවතී සුපිරි පන්දු වාරයේදී ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර, මෙම තරඟය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය හා රසල් ආනල්ඩ් Chilling with ruseel යූටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව අදහස් දක්වා සිටියා.
මෙහිදී, තරඟය පරාජයට පත්වූවත් මෙම තරඟයේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක ලබාදිය යුත්තේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට බව සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියා.
“මුල්පෙළ පිතිකරුවන් ෆේල් වෙලා පැතුම් නිස්සංක තමයි ගේම් එක ඇදගෙන ගියේ. පොඩි පොඩි මිස්ටේක් තිබුණට ඒක හොඳ තරඟයක්. තව ටිකක් මුල්පෙළ පිතිකරුවන් වගකීමෙන් ක්‍රීඩා කරන්න ඕනේ. මේ තරඟයනම තනියම ඇදගෙන ගියේ පැතුම් නිස්සංක තමයි. ඔහුත් කලින්ම අවුට් උනානම් අපිට ඒ තරම් තරඟයක් දෙන්න හැකිවෙන්නේ නැහැ.”
“පැතුම් නිස්සංක පන්දුවට පහරදෙන කොට කොට බෝලයට හොඳටම පුල් ශොට් එක ගහනවා. ඕස්ට්‍රේලියාවේ ගිහින් පුල් ශොට් එක ගහනවා කියන්නේ ඔහු හොඳටම ෆෝම් එකේ ඉන්නේ. ඔහු පන්දුවට පහර දෙන කොට ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්.”
මේ අතර, ඕස්ට්‍රේලියාව වැනි ප්‍රබල පිතිකරුවන් සිටින කණ්ඩායමක් ලකුණු 150ක් 160ක් වැනි ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට හැකි වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සම්බන්ධයෙන් සනත් ජයසූරිය පවසා සිටියේ මෙවන් අදහසක්.
“ලකුණු 175න් උඩට යන්න දෙන්නෙ නැතුව අපි ලකුණු 150ක් 160ක් අතර ලකුණු ගණනකට ඕස්ට්‍රේලියා ඉනිම නවත්වනවා කියන්නේ අපිට ඒක ලඟාවෙන්න පුලුවන් ලකුණු ප්‍රමාණයක්. එතකොට අපිට ෆීලින් එකක් තියනවා අපිට දිනන්න පුලුවන් කියලා. ඕස්ට්‍රේලියාව වගේ කණ්ඩායමක් මේ වගේ ලකුණු ප්‍රමාණයකට තියාගන්න එකට අපේ බෝලර්ස්ලටත් ක්‍රෙඩිට් එකක් ලබාදෙන්න ඕනේ. ”
“මේ ටිකේම අපේ ක්‍රීඩකයින් ගොඩාක් තරඟ ක්‍රීඩා කරලා රිදම් එකේ ඉන්නේ. ගිය ලෝක කුසලානයේත් අපි එලියට ගියාට අපි හොඳට සෙල්ලම් කරා. අපේ දැන් බෝලින් හොඳයි කියලා ෆීලින් එකක් තියනවා. ඒ විශ්වාසයත් එක්ක තමයි මේ විදිහට හොඳින් පන්දු යවන්නේ. දැන් ලසිත් මලිංගත් එකතු වෙලා ඉන්න නිසා අපේ බෝලර්ස්ලා එක්ක කතා කරලා එයාලගේ අත්දැකීම් බෙදාගන්නවා ඇති.”
තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු වලට දැවීගිය අවස්ථාවේදී, දසුන් ශානක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් නැවතත් ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තුවක් එක් කළ අතර, රසල් ආනල්ඩ් පවසා සිටියේ දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වේගයෙන් පන්දුවට පහරදීමට හැකි පිතිකරුවා දසුන් ශානක බවයි.
“අපේ කණ්ඩායමේ සිටින හොඳම ප්‍රහාරාත්මක පිතිකරුවා දසුන් ශානක. නායකත්වය, කණ්ඩායමේ සිටුවේශන් එක හරි මොකක් හරි හේතුවකට පසුබෑමකට ලක්වෙලා තියනවා. නමුත් එහෙම දේවල් වෙන්න පුලුවන්. නමුත් එදා තරඟයේදී ඔහු නිදහසේ අත්දෙක දිග හැරලා පන්දුවට පහර දුන්නා. ඒ විදිහට ගැහුවාම ඔහුට තවත් විශ්වාසයක් ඇති වේවි.”
තරඟයේ ලකුණු සමවීමෙන් අනතුරුව පැවතී සුපිරි පන්දුවාරයේදී දසුන් ශානක , දිනේශ් චන්දිමාල් හා පැතුම් නිස්සංක පන්දුවට පහරදීමට පැමිණියත් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවූයේ 5ක් පමණයි. මේ සම්බන්ධයෙන් රසල් ආනල්ඩ් හා සනත් ජයසූරිය යන දෙදෙනාම පවසා සිටියේ ආරම්භක පිතිකරු දනුශ්ක ගුණතිලකට සුපිරි පන්දුවාරයේදී පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදීමට තිබූ බවයි. ඔවුන් දෙදෙනාගේ අදහස පහළින්,
“දසුන් ශානක එදා තරඟයේ හොඳින් හයේ පහරවල් ගැහුවා. දිනේශ් චන්දිමාල් මේ ටිකේ හොඳින් පන්දුවට පහර දෙනවා. නමුත් සුපර් ඕවරේදී චන්දිමාල්ට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබුණෙ නැහැ. පැතුම් නිස්සංක ෆෝම් එකේ ඉන්නේ. පන්දුවට පහර දෙන්න ගිය ක්‍රීඩකයින් තුන්දෙනා ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් මම හිටියනම් යවන්නේ දනුශ්ක ගුණතිලකව. ඔහු ලකුණු 0ට අවුට් වෙලා තිබුණට ඔහුට හොඳට පන්දුවට පහර දෙන්න පුලුවන්. ඔහු දැවී ගිය පන්දුවත් බැට් එකේ මැදටම අරගෙන හොඳ පහරක් ගැහුවේ”
“ඒ වගේ පහරක් ගහලා ඒක පන්දු රකින්නෙක් අතට ගියොත් ඒක බෑඩ්ලක් එකක්. නමුත් ඔහු සුපිරිම ශොට් එකක් ගැහුවේ. හොඳ බෝලයකට වමත් පිතිකරුවෙක් ගහන්න පුලුවන් හොඳම ශොට් එක දනුශ්ක ගැහුවේ. ටයිමින් එකත් හොඳටම තිබුණා. සමහර වෙලාවට එහෙම ගහන ඒවත් අතටම යනවා. අපිට හිතලා පන්දු රකින්නන් නැති තැන් වලට ගහන්න බැහැ. අපි ගැප් වලින් ගැහුවාම කට්ටිය හිතනවා අපි හිතලා ගැප් වලටම ගහනවා කියලා. ඒ නිසා සුපර් ඕවරේදී දනුශ්කව එවන් තිබුණා කියලා මට හිතුනා.”
මේ අතර, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකුගෙම තෝරාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය පවසා සිටියේ අපි ඔවුන්ට ලැබුණු මුදල් ප්‍රමාණය ගැන නොව, තරඟාවලියේ අපේ ක්‍රීඩකයින් කීදෙනෙක් ක්‍රීඩා කරනවා ද යන්න සම්බන්ධයෙන් කතා කර යුතු බවයි.
“අපේ රටෙන් පහුගිය ටිකේම ඉදලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි IPL සෙල්ලම් කරේ. නමුත් මෙවර අපේ ක්‍රීඩකයින් 5 දෙනෙක්ම ක්‍රීඩා කරනවා. පසුගිය මාස තුන හතර ඇතුළත,ලෝක කුසලනයේ සෙල්ලම් කරපු විදිහත් එක්ක මේ හැමදෙයක්ම වෙනස් වුණා. අපි කතා කරන්න ඕනේ මේ ක්‍රීඩකයින්ට ලැබුණ මුදල් ප්‍රමාණය නෙමේ. අපේ ක්‍රීඩකයින් කීදෙනෙක් තරඟාවලිය ක්‍රීඩා කරනවා ද කියන එක තමයි අපි හැමෝම කතා කරන්න ඕනේ.”
“මේක මේ ක්‍රීඩකයින්ගේ ආරම්භය විතරයි. එක අවුරුද්දක් ගහලා එලියට යන්න බැහැ. දිගටම ඉන්න උත්සාහ කරන්න ඕනේ. මේ තරඟාවලියෙන් ඔහුන් ඉගෙන ගන්න දේවල් අපේ අනිත් ක්‍රීඩකයින් එක්ක බෙදාගන්න පුලුවන්. මොකද, ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයින් තමයි මේ තරඟාවලිය සෙල්ලම් කරන්නේ.
නිකන් ගිහිල්ලා ගහලා ඇවිල්ලා වැඩක් නැහැ. අපි බලන්න ඕනේ අපේ ලංකාවේ ක්‍රිකට් එක ඉහළට දාන්න. ඒ නිසා තරඟාවලිය අතරතුරේදී ඔහුන් කරන දේවල්, තරඟ වලදී ඔවුන් ගන්න තීරණ හැම දෙයක්ම අපේ අය බලලා ඉගෙනගෙන ඇවිල්ලා අපේ ක්‍රීඩකයින් එක්ක බෙදාගන්න ඕනේ. ඒක තමා මේකේ තියන වැදගත්ම දේ.” – සනත් ජයසූරිය