සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගෙන් වාර්ථාවක්.

සුපිරි 12 දෙනාගෙ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ හතරවන තරඟයෙන් එංගලන්තය හමුවේ පරාජයට පත්වීම සිදූ අතර, මේ වන විට ක්‍රීඩා කළ තරඟ 4න් තුනක්ම පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට තේරීමේ අවස්ථාව අහිමි වුණා.

 

 

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 163ක් ලබාගැනීමට සමත් වුණා. එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Jos Buttler පන්දු 67කදී හතරේ පහරවල් 6ක් හා හයේ පහරවල් 6 සමඟින් නොදැවී ලකුණු 101ක් ලබාගැනීමට සමත් වුණා. බට්ලර් හට අනගි සහයක් ලබාදුන් නායක Eoin Morgan පන්දු 36කදී ලකුණු 40ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 1ක් හා හයේ පහරවල් 3ක් ඇතුළත් වුණා.

 

 

පන්දු යැවීමේදී වනිඳු හසරංග සුපිරි පන්දු යැවීමක නිරත වූ අතර ඔහු පන්දුවාර 4 අවසානයේදී ලකුණු 21ක් පමණක් ලබාදී කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා. ඊට අමතරව මහීශ් තීක්ශණ ඔහුගේ පන්දුවාර 4 තුළදී එංගලන්ත කණ්ඩායමට ලබාදුන්නේ ලකුණු 13ක් පමණි. දුශ්මන්ත චමීර ලකුණු 43කට එක් කඩුල්ලක් දවාගත් අතර, ලහිරු කුමාරගේ පන්දුවාර 4 තුලදී ලකුණු 44ක් ලබාගැනීමට එංගලන්ත ක්‍රීඩකයින් සමත් විය.

 

 

වනිඳු හසරංග අද ලබාගත් කඩුලු 3 ත් සමඟින් ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙ කඩුලු 50 සීමාව පසුකර අතර, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම කඩුලු 50 ලබාගත් ක්‍රීඩකයින් අතර තුන්වන ස්ථානයට පත්වීමට හැකි වුණා. ඔහු මෙම වාර්ථාව තැබීමට සමත්වූයේ තරඟ 32කට පමණක් ක්‍රීඩා කරමිනි.

 

 

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම කඩුලු 50 වාර්ථාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ බිහිවූ අතිවිශිෂ්ඨ පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් වේ. ඔහු තරඟ 26කදී කඩුලු 50 සීමාව පසුකර ගිය අතර, එහි දෙවෙනි ස්ථානයේ සිටින අයර්ලන්තය ක්‍රීඩක Mark Adair තරඟ 28කදී කඩුලු 50 සීමාව පසුකිරීමට සමත් වී ඇත.

 

 

වනිඳු හසරංග විසින් මෙම වසරේ දී (2021) පමණක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 19කට ක්‍රීඩා කරමින් කඩුලු 34ක් ලබාගෙන ඇති අතර, මීට පෙර ටැබ්රයිස් ශම්සි මෙම වසරේ තරඟ 20කදී කඩුලු 32 බිඳ හෙළා තිබු වාර්ථාව පසුකර යෑමට අද (1) වනිඳු හසරංග සමත් විය.

 

 

ලකුණු 164ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකාවට පන්දුවාර 19 අවසානයේදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වනිඳු හසරංග පන්දු 21කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබාගැනීමට සමත් වූ අතර, නායක දසුන් ශානක හා බානුක රාජපක්ෂ ලකුණු 26 බැඟින් ලබාගැනීමට සමත් විය.

 

 

ඒ අනුව තරඟය ලකුණු 26කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ ශතයක් රැස් කළ ජෝස් බට්ලර්ටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *