සුරංග ලක්මාල් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට පෙර තමාගේ වසර 13ක ක්‍රිකට් ජීවිතය ගැන අදහස් දක්වයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන අතර, මේ වන විට ඔහුගේ අවසන් තරඟය ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරමින් සිටී.

 

 

තරඟය ආරම්භයට පෙර සුරංග ලක්මාල් මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අතර, එහිදී ඔහු වසර 13ක් පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ක්‍රීඩා කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ප්‍රකාශ කර සිටියා.

“මම අවුරුදු 13ක් පමණ ක්‍රීඩා කරලා තියනවා. ආපස්සට හැරිලා බලන කොට මට ගොඩාක් සතුටුයි. ඒ කාලය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් එකට දෙයක් කරා කියලා මම හිතනවා. මම හැමතිස්සෙම බැලුවේ මගේ Performance එකට වඩා කොහොමද කණ්ඩායමක් දිනවන්නේ කියලා.

 

 

නමුත් දැන් මම සමුගන්න තරඟයටත් ඇවිත් තියනවා. මට දැන් අවුරුදු 35ක් වෙනවා. මම දන්නවා මගේ කාලේ දැන් හරි කියලා. ඒ නිසායි මම මේ තීරණය ලබාගත්තේ.”

සුරංග ලක්මාල් මෙම තරඟය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 170ක් දවාගෙන ඇති නමුත්, කඩුලු 200ක් ලබාගැනීමට පෙර ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කරන ලද්දේ නවක ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබාදීමට බව ඔහු ප්‍රකාශ කර සිටියා.

 

 

“මගේ පෞද්ගලික වාර්ථාවන් වලට වඩා මම හැමතිස්සෙම බැලුවේ රට දිනවන්න. මට කඩුලු 200 ලබාගන්නනම් තවත් තරඟ කීයක් ක්‍රීඩා කරන්න වෙයිද කියලා මම දන්නේ නැහැ. එහෙම වුනොත් වෙන්නේ මම නිසා තවත් තරුණ ක්‍රීඩකයෙක්ට ලැබෙන චාන්ස් එක නැතිවෙන එක. මේ අවස්ථාවේ මම බැලුවේ ඉස්සරහට අපේ කණ්ඩායමට ගොඩක් ටෙස්ට් තරඟ තියනවා. මගේ කාලෙත් දැන් ඉවර වෙලා කියලා හිතුන නිසා තවත් ක්‍රීඩකයෙක් හදාගන්න අවශ්‍ය නිසා මම සමුගන්න තීරණය කළේ.”

 

 

සුරංග ලක්මාල් ක්‍රීඩා කළ කාලය පුරාවටම පිටිය මැදදී ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවතට ගොස් ඇති අවස්ථා ඉතාමත් සීමිත ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධයෙන් සුරංග ලක්මාල් සදහන් කළේ මෙවන් අදහසක්,

“මගේ ක්‍රිකට් දිය පුරාවටම අවස්ථා එකක් හෝ දෙකක් පමණයි තරඟය අතරතුරේදී ආබාධයක් නිසා පිටියෙන් ඉවත්වුණේ. ආබාධ කියන එක ඕනම ක්‍රීඩකයෙක්ට එන්න පුලුවන්. අපිට තරඟයක් ක්‍රීඩා කරනවාට යම්කිසි මුදලක් ලැබෙනවා. ඒ මුදලට කවදාවත් අසාධාරණයක් වෙන විදිහට ක්‍රීඩා කරලා නැහැ. මම තරඟයක් මඟදී ක්‍රීඩා පිටියෙන් ඉවත්වුනොත් ඒක කණ්ඩායමට ලොකු පාඩුවක් වෙනවා. විශේෂයෙන් කිව්වොත් Practice කරද්දී අපිට දවසට යවන්න ඕන පන්දුවාර වලට වඩා වැඩිපුර පන්දුවාර යවන්න මම පුරුදුවෙලා හිටියා. එතකොට අපේ ඇඟ ඒකට ගොඩක්ම හුරු වෙනවා. ඒ නිසා තමයි මට ගොඩක්ම ආබාධ වලින් තොරව තරඟ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ..”

 

 

අවසාන වශයෙන්, සෑම ක්‍රීඩකයෙක්ම ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට කැමැත්තක් ඇති කරගන්න ලෙස සුරංග ලක්මාල් තරුණ ක්‍රීඩකයින් හට උපදේශයක්ද ලබා දුන්නේය.

“ක්‍රිකට් කියන්නේ හැමදාම අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න තියන දෙයක්. මමත් තවම එකේක දේවල් ඉගෙන ගන්නවා. මම ගොඩාක් හොඳ , ඡේශ්ඨ ක්‍රීඩකයින් එක්ක ක්‍රීඩා කරලා තියනවා. ඒගොල්ලෝ තරඟ ක්‍රීඩා කරන්නෙ කොහොමද , තරඟයකට සූදානම් වෙන්නේ කොහොමද කියලා මම ආපු කාලේ ඉදන්ම බලාගෙන හිටියා. ඒ ලබාගත්ත දේවල් වලින් තමයි මම පරිණත වෙන්න වෙන්න මට සාර්ථක වෙන්න පුලුවන් වුණේ.”

 

 

“ඕනම ක්‍රීඩකයෙක්ට හොඳ කාල, නරක කාල තියෙන්න පුලුවන්. එතකොට අපි බලන්න ඕනේ නරක කාලය ඉක්මනින්ම ඉවර කරගන්නේ කොහොමද කියලා. ඒකට තමයි එක්ස්පීරියන්ස් එක වැදගත් වෙන්නේ. දැන් ඉන්න ක්‍රීඩකයින්ටත් මම කියන්නේ අපි ඕනම ෆෝමැට් එකකට ක්‍රීඩා කරන්න සූදානම් වෙලා ඉන්න ඕනේ.

 

 

සමහර ක්‍රීඩකයින් ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න කැමති නැහැ. මොකද ඒක ගොඩාක් අමාරු දෙයක්. ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. ටෙස්ට් ක්‍රිකට් තමයි හොඳම ක්‍රිකට් එක. ඒක ක්‍රීඩා කරන්න හැමෝම කැමති වෙන්න ඕනේ. ඒක තමයි මම තරුණ ක්‍රීඩකයින්ට ලබාදෙන උපදේසය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *