හැමෝම හිතුවේ අපි බයෝ බබ්ල් කඩලා ගියා කියලා, නමුත් අපි එහෙම දෙයක් කරේ නැහැ – දනුශ්ක ගුණතිලක

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග ඔහුගේ යූටියුබ් නාළිකාව ඔස්සේ, මීට මාස 6කට පමණ පෙර එංගලන්තයේදී සිදුවූ වැරැද්දක් හේතුවෙන් තරඟ තහනමකට ලක්වුණ දනුශ්ක ගුණතිලක සමඟින් සජීවී වැඩහටහනට එක් වුණ අතර එහිදී, ඔවුන් අතින් සිදුවූ වැරැද්ද සහ තවත් බොහෝ දේ සාකච්ඡා කෙරුණා.

 

මේ අතර, දනුශ්ක ගුණතිලක මාස හයක දේශීය ක්‍රිකට් තහනමකට ලක්ව සිටීමෙන් අනතුරුව නැවත වරක් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරන අතර, මෙලෙස ශ්‍රී ලංකාවේ ලීග් තරඟාවලියක් පැවැත්වේමෙන් ඇති වාසි ගැන දනුශ්ක ගුණතිලක අදහස් දක්වා සිටියා.

 

“ගිය පාර එල්.පී.එල් එකෙනුත් මම මේක කිව්වා. අපිට ලංකාවේ මේ වගේ තරඟාවලියක අඩුවක් තිබුණා. අපි බැලුවොත් ක්‍රීකට් ගහන හැම රටකම වගේ මේ අවුරුද්දකට සැරයක් මේ වගේ තරඟාවලියක් පවත්වනවා. නැත්නම් අපිට ඉන්ටර්නැෂනල් මැච් එකක් ගැහුවොත් විතරයි ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා එක්ක සෙල්ලම් කරන්න ලැබෙන්නේ. මේ වගේ ලීග් එකක් තියෙද්දී ගොඩක් පිටරට ක්‍රීඩකයින් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා, බැටින් ගැන බෝලින් ගැන කතා කරනවා.”

 

“මම ගිය අවුරුද්දේ මොහොමඩ් අමීර් එක්ක කතා කර කර ඉන්න කොට එයා මට කිව්වා ඔවුන් මට පකිස්ථාන ටුවර් එකේදී බෝල් කරන්න ප්ලෑන් කරේ කොහොමද කියලා. එතකොට මම දැන් දන්නවා ආයෙමත් අපි පකිස්ථාන මැච් එකක් සෙල්ලම් කරද්දී ඔවුන් මාව අවුට් කරන්න මොනවද ප්ලෑන් කරන්නේ කියලා. මේ වගේ තරඟාවලියක් තිබුණේ නැත්නම් අපිට මේ වගේ ඒවා කවදාවත් කතා කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ලීග් මැච් එකක් පවත්වනවා කියන්නේ අපේ ක්‍රිකට් කවදාවත් පහළට යන්නේ නෑ අනිවාර්යයෙන්ම උඩට යනවා. මට ඒක සීයට දෙසීයක් විශේෂයෙන්ම කියන්න පුලුවන්.”

 

මේ පිළිඹඳව තව දුරටත් අදහස් දක්වමින් ලසිත් මාලිංග පවසා සිටියේ මෙවන් අදහසක්,

“මම ඉස්සර අයි.පී.එල් ක්‍රීඩා කරද්දී ගොඩාක් අයගෙන් දෝශාරෝපන ආවා අපි එහෙම සෙල්ලම් කරද්දී, ඒ ක්‍රීඩකයින් අපේ තියන දේවල් ඉගෙන ගනීවි කියලා. නමුත් දැන් හැමෝටම තේරෙනවා ඇති මේ වගේ තරඟාවලියක් ක්‍රීඩා කරද්දී, කොහොමද අනෙත් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇනලයිස් කරන්නේ, එක එක රටවල් වලින් ක්‍රීඩකයින්ට යොදන ප්ලෑන්ස් මොනවද, ඒ හැමදේම දැනගන්නේ මේ වගේ තරඟාවලි ක්‍රීඩා කරන කොට කියලා.”

 

ගියවර එංගලන්තය සංචාරයේදී දනුශ්ක ගුණතිලක ඇතුළුව කුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා රාත්‍රී කාළයේ වීදි සංචාරයේ යෙදීම හේතුවෙන් තරඟ තහනමකට ලක්වූ අතර මේ සම්බන්ධයෙන් එදා ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න දනුශ්ක ගුණතිලක පවසා සිටියා.

 

“ඇත්තටම ගොඩාක් කට්ටිය හරියටම දන්නේ නැහැ එදා මොකක්ද උනේ කියලා. ක්‍රිකට් වලට කැමති අපේ ප්‍රේක්ෂකයින් හිතුවේ අපි බයෝ බබ්ල් එක කඩාගෙන ගියා කියලා. නමුත් අපි එහෙම දෙයක් කරේ නැහැ. මොකද අපිට හොටෙල් එකෙන් එලියට යන්න අවසර දීලා තිබුණේ. අපිට කියලා තිබුණේ හොටෙල් එකේ ඉදන් කිලෝමීටරයක් දුරට යන්න පුලුවන්, රෙස්ටුරන්ට් එකකින් වුනත් කෑම අරගෙන එළියට ඇවිත් කන්න කියලා අපේ ටීම් එකේ මැනේජර් හා ඩොක්ටර් අපිට අවසර දීලා තිබුණේ.

 

කොහොම හරි එදා එක්කෙනෙක් අපිව වීඩියෝ කරලා තිබුණා. අපි හිටියෙත් සෙනඟ ඉන්න තැනක නෙමේ. ගොඩාක් කට්ටිය හිතුවේ අපි රෑට ක්ලබ් වලට, පාටි දාන්න ගියා කියලා. නමුත්, දන්න කට්ටිය දන්නවා ඒ දවස්වල එංගලන්තයේ හැම ක්ලබ් එකක්ම , කඩයක්ම රාත්‍රී 11 වෙද්දී වහනවා. අපි බඩගිනි වෙලා ගියේ, නමුත් අපිට හරියකට කඩයක්වත් හොයාගන්න බැරි වුණා. එකම එක කඩයක් තිබුණා නමුත් ඒක තිබුණේ අපිට කියලා තිබුණ සීමාවට වඩා දුරින්. නමුත් ඒ වෙලාවේ අපි හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒක තමා අපි අතින් සිදුවුණ වැරැද්ද.

 

අනිත් එක අපි පලවෙනි තරඟ තුනම පරාජයට පත්වෙලා තිබුණේ. ඒ වෙලාවෙත් අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ගොඩාක් කණගාටුවට පත්වෙලා හිටියේ. ඉතින් ඒ වෙලාවේ අපිත් ගොඩාක් දුකින් හිටියේ. අපි මැච් පරදින කොට ඇත්තටම රූම් එකට වෙලා ඉන්න හිතෙන්නෙවත් නැහැ. අපි ගියපාර LPL එකේ ඉදන් එකදිගට මාස 6ක් පමණ බයෝ බබ්ල් වල හිටියේ. ඉතින් හිතන තරම් ලේසි දෙයක් නෙමේ.

අපිට එංගලන්තයට ගියාම එළියට යන්න අවස්ථාවක් දෙනවා කිව්වා. කොහොහරි අපි අතින් වැරැද්ද වුණා. අපි ඒකට සමාව ඉල්ලුවා. ගොඩක් කට්‍ටිය අපි සමාව ඉල්ලුවා කියලා දන්නෙත් නැහැ. මට ට්විටර් එකේ හරි දාන්න තිබුණා අපිට එදා එළියට යන්න අවසර දීලා තිබුණේ කියලා. නමුත් අපි ඕක දාල වැඩක් නෑ, දන්න කට්ටිය දන්න නිසා මම ඔළුව පහත් කරගෙන කටවහගෙන සිටියා.

 

අවසානයේදී දනුශ්ක ගුණතිලක විසින් පවසා සිටියේ තමන් මෙම තරඟාවලියේ දස්කම් අතර පැමිණීමට බලාපොරොත්තු වන බවත්, නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වීමට අවසාවක් ලැබුනොත් හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

“ඇත්තටම මටත් දුකයි, මොකද මමත් හොඳට ලකුනු ගගහා ඉන්න කොට තමයි මේ සිද්ධිය වුණේ. මාස 6ක කාලයක් ඉදලා නැවතත් අපි ක්‍රිකට් ආරම්භ කරලා තියනවා. හැමවිටම මගේ බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන එක. ඉතින් මම මේ තරඟාවලිය හොඳින් ක්‍රීඩා කරලා නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුනොත් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් එතකන් මට පුලුවන් විදිහට මගේ ෆිට්නස් එක, ප්‍රැක්ටිස් කරන දේවල් හොඳින් කාගෙන ඉන්නවා. ”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *