හිතාහෙන ඉන්නේ හොඳ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ කියලා. – සනත් ජයසූරිය
ඊයේ (26) අවසන් වූ එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතාවය සම්බන්ධයෙන් මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් කනගාටුව පළ කර තිබුණා. මේ අතර අද (27) දින තිලකරත්න ඩිල්ශාන්ගේ යූටියුබ් නාලිකාව සමඟ එක්වමින් සනත් ජයසූරිය, උපුල් තරංග, හා අනූශ සමරනායක මහත්වරුන් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නැතිවී යාමෙන් වළක්වා ගැනීමට ගත යුතු පියවර සහ මේ මොහොතේ සිදුවී ඇති දෙවල් ගැන සාකච්ඡාවකට එක්වමින් අදහස් දැක්වූවා.
මේ අතර තිලකරත්න ඩිල්ශාන් හා සනත් ජයසූරිය යන දෙදෙනාම විසින් ප්‍රකාශ කරන ලද්දේ උපුල් තරඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ඉක්මන් වැඩි බවයි. එසේ ඉක්මනින්ම සමුගැනීම සම්බන්ධයෙන හේතුව වශයෙන් උපුල් තරංග ප්‍රකාශ කර සිටියේ තමන් ක්‍රීඩා කළ අවසාන අවුරුද්දේ කොන්ත්‍රාත්තුව සඳහා තමාගේ නම ඇතුළත් නොකිරීම නිසා තමාට යළි අවස්ථාවක් නොලැබෙනු ඇති බවට තේරුම් ගත් නිසා බවයි.
“2019 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ ක්‍රීඩකයින් 40ක් අතර මම හිටියේ නැහැ. ඊට පස්සේ බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියට පෙර පුහුණු තරඟයක් තිබුණා. එහිදී මම එම තරඟය ක්‍රීඩා කරලා ශතකයක් ලබාගත්‍තා. නමුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන සංචිතයට මාව ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඉන් පසුව ලෝකෙම වසංගතයක් වෙලා තියන කොවිඩ් වසංගතය ආවා. එවිට ලෝකෙම ක්‍රිකට් නැවතුනා. ඒ නිසා මම හිතුවා මට ආයේ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන්නැති වෙයි කියලා.” – උපුල් තරංග
ඒ පිළිඹදව සනත් ජයසූරිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙවන්නක්.
උපුල් තරංග කියන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඔහු මාත් එක්කත් ඕපන් කරා. උපුල් ජාත්‍යන්තර තරඟ වලින් සමුගත්ත ඉක්මන් වැඩී. උපුල් ලෙජන්ඩ් තරඟාවලියේ ක්‍රීඩා කරපු විදිහට එයාගෙන් තව අවුරුදු 2ක් විතර වැඩ ගන්න තිබුණා. අවුරුදු ගානක් ක්‍රිකට් ගහලා එකපාරටම ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ 40 දෙනා අතරටවත් නෑ කියලා දැනගත්තාම ඇත්තටම ජීවිතේම එපා වෙනවා. – සනත් ජයසූරිය
නව තේරීම් කමිටුව විසින් අත්දැකීම් බහුව සීනියර් ප්ලේයස්ලා කණ්ඩායමෙන් ඉවත් කර තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්ව්ත සංචිතයක් සමඟින් ක්‍රීඩා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයින් සහ අනූශ සමරනායක මහතා දැක්වූ අදහස් පහළින්.
දැන් අපේ කණ්ඩායමේ වයසයි කියලා එළියේ තියලා තියන හැමෝගෙම වයස අවුරුදු 30-32යි. සනත්ලා, උපුල්ලා, ඩිල්ශාන්ලා වැඩියෙන්ම ලකුණු ගහන්න පටන් ගත්තේ ඔය වයසවල් වලදී. ඊට හේතුව ක්‍රීඩකයෙක් පරිණත වෙන්නේ ඔය වයස සිමාවට ආවාම. ඉතින් ඒ වයස්වල ඉන්න අපේ ක්‍රීඩකයින් එළියෙන් තියනවා කියන්නේ මම හිතනවා අපි කරන්නේ ලෝක විනාශයක් කියලා.- අනූශ සමරනායක මහතා
“මම වැඩියෙන්ම ලකුණු ගහන්න පටන් ගත්තේ අවුරුදු 35දී, 35-40 අතර තමයි වැඩියෙන්ම ලකුණු ගැහුවේ. සනත් අයියා වයස 51ත් වෙලා ලෙජන්ඩ් මැච් එකේ හොඳට ගැහුවා.”
“අලුත් කොන්ත්‍රාත්තුවේ උඩින්ම ඉන්න ප්ලේයස්ල දෙන්නටම කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් නැහැ. එතන අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියනවා. ක්‍රීඩකයෙක් අවුරුදු ගාණක් ක්‍රිකට් ගහලා මාස දෙක තුනක් ෆේල් වුනාම තව එකපාරටම කණ්ඩායමට ආපු කෙනෙක් ලකුණු ටිකක් ගැහුවා කියලා අවුරුදු ගානක් ක්‍රිකට් ගහපු ක්‍රීඩකයට වඩා කොන්ත්‍රාත්තු මුදලක් ලබාදුන්නාම අනිවාර්යයෙන්ම ගැටුමක් ඇති වෙනවා.” තිලකරත්න ඩිල්ශාන්

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් යළි නඟාසිටුවීමටනම් අනිවාර්යයෙන්ම ක්ලබ් ක්‍රිකට් හා ස්කූල් ක්‍රිකට් දියුණු කළ යුතු බව තිලකරත්න ඩිල්ශාන් පවසනවා. ක්ලබ් ක්‍රිකට් වල දියුණුවක් නැති වීම අපේ රටේ ක්‍රීඩකයින් වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යන බැවැන් ශ්‍රී ලංකා ක්‍රිකට් දවසින් දවස විනාශ වන බව ඩිල්ශාන් විසින් ප්‍රකාශ කර සිටියා.
“චින්තක ජයසිංහයි, සුරාජ් රන්දීව් යන හිටපු ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ බස් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරනවා කියල මම දැක්කා. ඕස්ට්‍රේලියාවට අනුව ඒක ගොඩාක් හොඳ රැකියාවක් වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් සෙල්ලම් කරපු කෙනෙක් ඒ තත්වෙට වැටෙන්න හොඳ නැහැ. එහෙම වෙන්නේ අපේ රටේ ක්ලබ් ක්‍රිකට් වල දියුණුවක් නැති විම නිසා.”
“ඊයේ තරඟයේදී ඉසුරු උදාන ප්‍රහාරයකට ලක් වීමේදීත්, ඕෂධ ප්‍රනාන්දුට නිසියාකාරව පන්දුවට පිත්ත හැසිරවීමට නොහැකි වීමේදීත්, කිසිවෙක් ඔහුන් ලඟට ඇවිත් උපදෙසක් ලබා දුන්නේ නැහැ..
පලවෙනි බෝලේ ඉදන්ම ගහන්න හදනවා. නිකන් සත්තු එලවනවා වගේ. එහෙම කරන්න බෑ. පුහුණුකරුවන් ඒවා කියලා දෙන්න ඕනේ. හිතාගෙන ඉන්නේ මෙයාලා හොඳ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ කියලා. ඒ නිසා පණිවිඩ යවන්නේ නැහැ.” යනුවෙන් සනත් ජයසූරිය මහතා අවසානයට ප්‍රකාශ කර සිටියා.