2022 ලෝක කුසලානයට සහභාගී වීමට සිටින ශ්‍රී ලංකාව කණ්ඩායම ගැන මහේල ජයවර්ධන අදහස් දක්වයි..
2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී නවක ක්‍රීඩකයින් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ පෙරළිකාර දස්කම් වලින් පසුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්වන දස්කම් බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ පෙරළියක් සිදුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මහේල ජයවර්ධන ප්‍රකාශ කරනවා.
පසුගිය ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ මූලික වටයෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් වලින් අනතුරුව දෙවැනි වටයේ දී බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කිරීමට හැකි වූ අතර දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති තරගවල දී ද ප්‍රබල අභියෝගයක් ඔවුන්ට ලබාදීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුණා.
එම තරගාවලියේ දී සමස්තයක් ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට හැකි වූ අතර කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකගේ නැවත පැමිණීමෙන් පසු ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදී කාණ්ඩයම් වලට හොඳ අභියෝගයක් එල්ල කිරීමට හැකිවේයැයි තමන් විශ්වාස කරන බව ද මහේල ජයවර්ධන ප්‍රකාශ කර ඇත.
“මම හිතන්නේ පසුගිය වසරේ පැවතී විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කළා වගේම ඔවුන් ඉතාමත් හොඳින් ආක්‍රමණශීලීව ක්‍රීඩා කළා. ඒ වගේම ඒ කාලයේ තාරඟ තහනමකට ලක්ව සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම නැවතත් සංචිතයට ඇතුළත් වීමට නියමිතයි.”
“ප්‍රහාරාත්මක පිතිකරණ ලැයිස්තුව ගතහොත් භානුක රාජපක්ෂ එහි ඉහළින්ම සිටිනවා. පැතුම් නිශ්ශංකත් ආරම්භක පිතිකරුවෙක් ලෙස හොඳ ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කිරීමට සමත්වුණා. ඒ වගේම චරිත් අසලංක අංක 3 පිතිකරුවෙකු ලෙස උපරිමයෙන්ම ක්‍රීඩා කළා. මම හිතන්නේ අපිට හොඳ ප්‍රහාරාත්මක පිතිකරණ ලැයිස්තුවක් තියෙනවා.”
“ඒ වගේම බොහෝ තරුණ ක්‍රීඩකයින් තමන්ගේ දෙවැනි ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට සිටින වැදගත් ක්‍රීඩකයින්. ඒ වගේම අපේ කණ්ඩායම ඉක්මණින්ම වර්ධනය වෙන බවද, ICC Review වැඩසටහනට සහභාගී වෙමින් මහේල ප්‍රකාශ කළා.
මේ අතර මෙවරද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්වන දස්කම් පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින අතර ඔවුන්ගේ දස්කම් ගැන ද මහේල ජයවර්ධන මහතා අදහස් දක්වා තිබුණා..
ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලය මඟින් ඉදිරිපත් කරන විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයට පත්වීමට හැකිවූ වනිඳු හසරංග දෙවෙනි වරටත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දක්වන අතර පහුගිය කාලයේ ශාරීරික යෝග්‍යතා ගැටලුවක් හේතුවෙන් කණ්ඩායමට එක්වීමට නොහැකි වූ භානුක රාජපක්ෂ මෙන්ම දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ ද මෙවර ඉතා ඉහළ දස්කම් දක්වමින් සිටිනවා.
“මම හිතන්නේ වනිඳු හසරංග තමයි අපේ ප්‍රධාන තුරුම්පුව වෙන්නේ. ඔහු දැනට ලෝකයේ සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් එක්කෙනෙක්. ඒ වගේම දුෂ්මන්ත චමීරත් විශාල දුරක් ඇවිත් තියෙනවා.”
“මම හිතන්නේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම දේ පන්දු යැවීමේ බලඇණියයි. වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පු වෙද්දී මෙවර චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වන මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සම්පතක් බව ප්‍රකාශ කර ඇති අතර ඔවුන් එම තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පන්දු යවන්නන් වන බවද මහේල ජයවර්ධන විසින් සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 5කින් යුත් තරඟාවලියජ් සඳහා පසුගිය පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ අතර එහි දී එක් තරගයක් ජයගනිමින් තවත් තරගයක් සුපිරි පන්දුවාරයක් දක්වා ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුණා.
“ඔවුන් පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාවේදී විස්සයි විස්ස තරග කිහිපයක් ක්‍රීඩා කළා වගේම එහි දී ඔවුන් වගකීම් සහගත දස්කම් දක්වනවා දැකගන්න ලැබුණා. මම හිතන්නේ ඔවුන් තරග කිරීමට සම්පූර්ණයි වගේම ඔවුන්ට විශේෂ දස්කම් තියෙනවා.” – මහේල ජයවර්ධන
එමෙන්ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ,
“ඒක ඉතාමත් අමාරු එකක්. එක හා සමාන දස්කම් දක්වන කණ්ඩායම් හය හතක්ම සිටිනවා. ඒක අපි අවසන් ලෝක කුසලානයේ දීත් දැක්කා. වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ මව්බිමේ දී ක්‍රීඩා කරද්දී ඔවුන්ට අභියෝගයක් එල්ල කිරීමට අපහසුයි. ඔවුන් තමන්ගේ තණතීරු සහ ක්‍රීඩාංගණයන් පිළිබඳව හොඳින්ම දන්නවා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් ඉහළ මට්ටමින් තරග කරයි” මහේල ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළා.