NSL2023 තරඟාවලියේ පලමු තරඟයේ ජය නුවර කණ්ඩායමට..
2023 වසරේ නැශනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරඟාවලියේ පලමු තරඟය ලෙස පැවතී නුවර කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර තරඟයෙන් ඉනිමක හා ලකුණු 279ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නුවර කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොලඹ කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව කොළඹ කණ්ඩායම සිය පලමු ඉනිම සඳහා පන්දුවාර 64.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 214ක් ලබාගැනීමට සම්ත්විය.
එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රබාද් ජයසූරිය පන්දු 84කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත්වුණා.
ඊට අමතරව නිසල තාරක පන්දු 99කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් හා රොශේන් සිල්වා පන්දු 50කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබාගත් අතර, අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟා වීමට නොහැකි වුණා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්වූ අතර, ඔහු පන්දුවාර 29.5ක් අවසානයේදී ලකුණු 60කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව නිම්සර අතරගල්ල ලකුණු 62කට කඩුලු 4ක් හා අම්ශි ද සිල්වා එක් කඩුල්ලක් ද බිඳ දැමූවා.
ඉන් අනතුරුව නුවර කණ්ඩායම සිය පලමු ඉනිම ආරම්භක කළ අතර, ඔවුන් පලමු ඉනිම සඳහා පන්දුවාර 109.1ක් ක්‍රීඩා කරමින් කඩුලු 9ක් දැවී ලකුණු 565ක් ලබාගැනීමට සමත්විය.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් මෙවර තරඟාවලියේ පලමු ද්විත්ව ශතකය රැස්කර ගැනීමට ඕෂධ ප්‍රනාන්දු සමත්වූ අතර, ඔහු පන්දු 287කදී හතරේ පහර 23ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 201ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව, ඕෂධ ප්‍රනාන්දු හට අනගි සහයක් වෙමින් සදුන් වීරක්කොඩි ද ශතකයක් රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 154කදී හතරේ පහර 18ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 144ක් ලබාගැනීමට සමත්විය. තවද, යොවුන් ක්‍රීඩක අශාන් වික්‍රමසිංහ ද පන්දු 95කදී ලකුණු 107 ලබාගැනීමට ද සමත්වුණා.
පන්දු යැවීමේදී නිසල තාරඟ පන්දුවාර 22.1ක් අවසානයේදී ලකුණු 112කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වූ අතර, කලන පෙරේරා, ප්‍රබාද් ජයසූරිය හා ලක්ශිත මනසිංහ එක් කඩුල්ල බැඟින් ද බිඳ දැමීමට සමත්විය.
ඉන් අනතුරුව, නුවර කණ්ඩායමට වඩා ලකුණු 351ක් පසුපසින් සිට කොළඹ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කර නමුත් ඔවුන්ට දෙවන ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 72ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මනෝජ් සරත්චන්ද්‍ර වන අතර ඔහු පන්දු 36කදී ලකුණු 18ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 16ක් හා ප්‍රබාද් ජයසූරිය ලකුණු 11කට දැවීගිය අතර අන්කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමා ලඟාවීමට නුවර කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩලබාදුන්නෙ නෑ.
නැවතත් සුපිරි පන්දු යැවීමක නිරත වීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්වූ අතර ඔහු මෙම ඉනිමේ ලකුණු 26කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වීමත් සමඟින් සම්පූර්ණ තරඟයේදී ලකුණු 86කට කඩුලු 10ක් බිඳ දැමීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්වුණා.
ඊට අමතරව අම්ශි ද සිල්වා පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 12කට කඩුලු 2ක් ද, අශින් ඩැනියල් ලකුණු 15කට කඩුලු 2ක් ද දවාගත් අතර, නිම්සර අතරගල්ල ද එක් කඩුල්ලක් බිඳ දැමීය.
ඒ අනුව, මෙවර නැශනල් සුපර් ලීග් තරඟාවලියේ පලමු තරඟයෙන් කොළඹ කණ්ඩායම, ඉනිමකින් හා ලකුණු 279කින් දැවැන්ත ලෙස පරාජයට පත්කිරීමට නුවර කණ්ඩායම සමත්වුණා..